
කාලෙකට පස්සෙ කොළඹින් ටිකක් දුර බැහැරට යන්න ලැබිච්ච අවස්ථාව ගැන අපි
දෙන්න හිටියෙ හරිම සතුටකින්. අපි යන්න බලාපොරොත්තු වුණේ බොරලංකඩ ගමට,
දවසකට දෙපාරක් තුන්පාරක් ඉහළට පහළට දුවන බස් රථය ගැන අවබෝධයක් නැති නිසාම
ත්‍රීවීල් එකක් කතා කරගෙන අපේ ගමන යන එක කොයිකටත් හොඳයි කියල අපි තීරණය
කළා. හැටන් බස් එකින් ඇවිත් දෙහිඕවිටින් බැහැල දැරණියගල බස් එකට නැඟලා
උඩබාගේ හන්දියෙන් අපිව බස්සන්න කියල රියදුරු මහත්තයට කීවා. මිනිත්තු
විස්සකින් විතර අපි ගමනාන්තයට ළඟා වුණා. තවමත් උදෑසන අටට ළංවෙලා නෑ. තුනී
මීදුම් වළාවක් රබර් ගස් අතරින් පෙරී එමින් තිබුණා. පාරෙන් අනිත් පැත්තෙ
කන්ද උඩ පන්සල. පරිසරයෙ තිබුණෙ හරිම නිස්කාන්සු බවක්. මහ ලොකුවට නැතත්
අත්‍යවශ්‍ය හැම දෙයක්ම ඒ පුංචි කඩමණ්ඩියෙ තිබුණා. අපි වීල් එකක් එනකම්
බලාගෙන හිටියා.
පරිසරයෙ තිබුණු නිස්කාන්සුව තීව්‍ර කරමින් පන්සල දිහාවෙන් නිතර සවනත
නොගැටෙන අමයුරු ගීයක් ඇසුණා. රූපවාහිනී යන්ත්‍ර ගෙදර සාලෙ ආක්‍රමණය නොකළ
හැත්තෑව අසූව දශකවල අපිට ළඟම මාධ්‍ය වුණේ ගුවන්විදුලිය. ඒ බොහෝ උදෑසනවලදී
උදා ගී වැඩසටහනින් නිතර සවනත රැඳුණු ඒ ළයාන්විත හඩ අපේ සවන් පත් ළඟ නින්නාද
දුන්නා. උඩබාගේ හන්දියට නුදුරින් පන්සල ඉහත්තාවේ තියෙන පුංචි පාසල අපිව
ආයෙත් අපේ ළමා කාලේට අරගෙන ගියා.
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
ආදරය කරුණාව දයා උතුරා ගලන
මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත රැදී
ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
පරිසරය මා රකී රකිමි මම පරිසරය
ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්තවූ අනාගතයක් කරා
පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි ///
දැරණියගල ගිහින් ආවට පස්සේ අපේ පළමු කටයුත්ත වුණේ නැවත නැවතත් රසවිදී ඒ
ගීතය සොයා ගැනීම. අන්තර්ජාලය බොහොම ඉක්මනට ඒ වැඩේ කරල දුන්නත් ගීයේ
හිමිකාරීත්වය සොයා ගන්න සෑහෙන මහන්සියක් වුණා.
ඒ ආනන්දනීය හඬේ හිමිකාරීය වුණේ ප්‍රවීණ ගායිකා නාලනී රණසිංහ. ගීතය
ලිව්වෙ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වු සමරවීර වීරවන්නි මහත්තයා කියන ඔත්තුව
දුන්නෙ බන්දුල නානායක්කාරවසම් සොහොයුරා. අන්තිමට නාලනී රණසිංහ
ශිල්පිණිය අමතන්න අවස්ථාවක් ලැබුණා. ඒ සොදුරු පද වැලට ස්වර රටාවෙන් ජීවය
ලබාදී තිබුණෙ ආනන්ද ජයසිංහ මහතා බවත්, ඔහු එවකට සංගීත අංශයේ ප්‍රධානියාව
සිටි බවත් ඇයගෙන් දැනගන්න ලැබුණා. නාලනී රණසිංහ සහ ඇගේ ගීත ගැන කතාකරන්න
බොහෝ දේ තිබුණත් ඊට කලින් නමක් නොදන්න පාසලේ විදුහල්පතිතිතුමාට ස්තුතී
කරන්න අවශ්‍යයි කියල මතක් වුණා. හිමිදිරියේ පාසලට එන පුංචි දුවා දරුවන්ගේ
ආදරණීය හිත් දයාවෙන් කරුණාවෙන් පුරවන්න, ඒ ජීවිතවලට අරුතක්, අරමුණක් දෙන්න
ගන්න පුංචි උත්සාහය ඇත්තටම අගේ කරන්න අවශ්‍යයි.
ගතවුණු ජනවාරී හතර වැනිදා, පාසල අලුතින් පටන්ගත්ත දවස. එදා අපි දෙන්නා
පාසල් කීපයකටම ගියා. බස්නාහිර පළාත ඇතුළෙ, එළවළු පලතුරු පැළ වගයක් බෙදා
දෙන්න. ඉන් එක් පාසලක් ප්‍රාථමිකයක්. විදුහල්පතිතුමා සර් කියල තරුණ
ගුරුවරයකු අමතලා ළමයි කීප දෙනෙක් ඉල්ලා සිටියා.
තුන්වන ශ්‍රේණියේ තරම පොඩි පුතාල දහයක් විතර ආවා ඒ වැඩේට උදවු වෙන්න.
හැබැයි ඒ පුංචි පුතාලට මුල්ගුරුතුමයි පංතිභාර ගුරුතුමයි ඇමතූ විදියට අපි
දෙන්නා මූණට මූණ බලාගත්තා.
“මෙහෙ වරෙල්ලා, මේව ගිහින් තියාපල්ලා, මුන්ව හදන්න බෑ සර්, මූ තමයි සර්
පැෂන් වැල කාපු එකා ” ආදී වශයෙන් ඒ දරුවන්ව ගුරුවරුන් විසින් ආමන්ත්‍රණය
කෙරෙද්දි, ශිෂ්‍යයනුත්, ඒ වගේම කතා කළා.
“ අද පංතියෙ කොල්ලො කීයද සර්? ලොකු සර් ඒ විදියට අහනකොට උත්තර ලැබුණෙ දරුවන්ගෙන්.
“ කොල්ලො අටයි, කෙල්ලො පහයි සර්” ලොකු සර් මූ ගස්නැග්ගා, ලාවුළු ගහේ අත්ත කැඩුවා” දරුවො ගිරව් වගේ කතා කරන්න ගත්තා.
අපේ පහුගිය කාලය දැනට වැඩිය හොඳයි නෙ. පංතියෙ වැරදිවලට කොහොම බැණුම්
ඇහුවත් පිට මිනිස්සු ඉස්සරහා පුතේ, දරුවනේ කියල අපිට ගුරුවරු කතා කළා නේද
කියල චන්නයි මමයි කතා වුණා.
ඒ පාසල ගැන මතක් වෙද්දි ඒ දරුවො ගැන ඇත්තටම කනගාටුවක් හිතනවා. ඒ අතින්
උඩබාගේ දරුවො වාසනාවන්තයි කියල හිතන හිතිවිල්ල සාධාරණයි කියල හිතෙනකොට අනේ
ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ මුවින් “පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි”
කියල ගැයෙන දවසක් ගැන මම හීන දකිනවා
ලිහිණි

මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා. පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා. ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප්රවෘත්ති කියන ඒවම ද කියල මගේ හිත මගෙන් ම අහනවා. ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ,
මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ,
ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද?
ඒ වුණත් අනේ ඉතින් අපිට මොකද කියල අහක බලන් ඉන්න පුළුවන් කමක් නැති කමට මාත් හෝද හෝද මඩේ දානව වගේ මට දැනෙන දේවල් ලියනවා.
අලුත්ම ප්රවෘත්තිය “තවත් ෆේස් බුක් මරණයක්” නිමිත්ත වර්චුවල් ලොකේ පෙම්වතුන් යුවලකගෙ පළමු සැබෑ හමුවීම. පෙම්වතා තමන්ගෙ මවුපියන් සමඟ මෙතෙක් කලක් පෙම්බැදි වර්චුවල් පෙම්වතියගේ ගෙදරට පැමිණ තිබුණා. අවාසනාවකට ඇය එතෙක් කලක් පෙනී සිට තිබුණෙ තම සැබෑ නමින් වුවත් අන් කෙනකුගේ ජායාරූපයකින්. අවසන් ප්රතිඵලය වුණෙ චර්චුවල් පෙම්වතා සහ ඔහුගේ මවුපියන් නික්ම ගිය පසු කාමරයට වැදුණු පෙම්වතිය සියදිවි හානිකර ගැනීමයි. මොකක්ද අපිට වෙන්නෙ. කොතනද අපිට වැරදෙන්නේ.
ඇත්තටම මේ වෙන බොහෝ සිදුවීම්වලට හේතුව විදියට මට දැනෙන්නෙ ආත්ම වංචා මේවට බලපානවා කියලා. වර්තමාන පරම්පරාවට තමන් ගැන හැඟිමක් නෑ. තමන් කවුද? මොනවද කරන්නෙ? මොනවද කළයුත්තෙ කියන දේ අවබෝධ කරගන්න තරම් දැනුවත් බවක් පෞරුෂය මුහුකුරායාමක් අද දරුවන්ට නෑ. දක්ෂ අදක්ෂ, උස මහත, කැත ලස්සන, දුප්පත් පෝසත් මේ හැමදේම සාපේක්ෂයි කියල දකින්න හිතන්න තේරුම් ගන්න, තේරුම් කරල දෙන්න කල්යල් බලන්න අනවශ්‍යයයි කියලයි මට හිතෙන්නේ.
මිනිසුන්ට ලෝකෙ තියෙන විවිධත්වය තේරුම් කරලා දෙන්න මහලොකු උත්සාහයක් ගන්න අවශ්‍ය නෑ. අප අවට තියෙන පරිසරය අපිට විවිධත්වය ඉගැන්නුවත් අද තත්ත්වය ඊට හුඟක් වෙනස්. අද හැම තැනම දකින්න තියෙන්නෙ අමුතුවෙන් මවන සංස්කෘතියක්. ඒ අලුත් සංස්කෘතියෙ තියෙන්නෙ ලස්සන දේවල් විතරයි.
කොටින්ම කියනවා නම් ඉස්සර අපි පුංචිකාලේ ඉගෙන ගත්ත කළු කියන්නෙ දැකුම්කළු කියලා. නමුත් අද කළු කියන්නෙ කැතයි කියන අර්ථයෙන්. වෙනකක් තියා සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම ගන්න යනකොට මුළු ලෝකෙම ඇයව හැඳින්නුවෙ ආසියාවේ කළු වෙළඹ කියලා. අද ඒ කළු වෙළඹත් සුදුවෙලා. අලුත් සංස්කෘතියට අනුගත වෙලා. මේ හැමදේම වෙන්න හේතුව මොකක්ද? ඇයි තමන් තමන්වම හීනමානයට පත්කරගන්නේ.
මේ තත්ත්වය මේ විදියට විස්තාරණය වෙන්න මාධ්‍යයයෙනුත් ලොකු බලපෑමක් වෙනවා. අදට වඩා ඊයේ හොඳයි කියන තැන ඉඳල මම කතා කරනවා කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අද මාධ්‍යයට සමාජමය වගකීමක් නෑ. තිබුණත් ඔවුන් එය ඒ විදියට බාරගන්න ලෑස්ති නෑ. බොහෝ එෆ් එම් නාළිකාවල අරමුණ ඉල්ලුමට සැපයුම විතරයි.
මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එක් ගුවන් විදුලි නාළිකාවක වැඩ සටහන් සම්පාදකවරයෙක් කියල තිබුණා, මාධ්‍යයෙන් මිනිසුන් හදන්න බෑ, දැනුවත් කරන්න බෑ ඒක ලොකු බොරුවක්, මාධ්‍යයෙන් මිනිසුන් ඉල්ලා සිටිනදේ දිය යුතුයි. එතනයි පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් මාධ්‍යයෙන් ජනතාව ඉදිරියට ගේන්නෙ වෙළෙද ආයතනවලට අවශ්‍ය දේවල්, සමාජයීය ඕපාදුප සහ ඔවුනගේ ලාභ ලබාගැනීමේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන, ගෙදරටම ගිහින් අහන්නේ අපේ චැනල් එකනම් දෝතපුරා තෑගි කියන සංකල්පය.
ඒ විතරක් නම් කමක් නෑ. මීනි මැරුමක්, මංකොල්ල කෑමක්, ස්ත්‍රී දූෂණයක් වුණාම අකුරින් අකුර ක්රිකට් විස්තර විචාරයක බෝලයෙන් බෝලයට වගේ විස්තර කෙරෙනවා. මේ හැම සිදුවීමක් ම, පාඨක ප්රේක්ෂක මනසේ චිත්‍ර විදියට තැන්පත් වෙනවා කියන හැඟීමක් අපේ මාධ්‍ය සගයින්ට ඇති නොවීමම කනගාටුවට කරුණක් වන්නේ ඊළඟ හදිසි මරණයට පාර කියාදෙන්න අපිත් දායක වුණා කියන හැඟිම මාධ්‍යයේ කටයුතු කරන අපේ හිතේ ඇති නොවෙන හින්ද කියල මම යෝජනා කරන්න කැමතියි.
දැන් ඉතින් අපි කුමක් කළ යුතුද? දැන්වත් පිරිපුන් හෘදසාක්ෂියක් සහිත මිනිසුන් වශයෙන් හැසිරීමට අපි එක්ව කටයුතු කළයුතු මොහොත එළඹ තිබෙනවා නේද? ලියන අකුරක, දොඩන වදනක, කැමරා කාචයකට හසුකරගන්නා දර්ශනයක නොකිය කියන කතාවට අප සමාජයට වගවිය යුත්තෝ වෙමු. නිශේධනීය, අරුත්සුන් සම්ප්‍රප්පලාප වෙනුවට සාධනීය අරුත්බර සමාජ වගකීමක පංගුකරුවන් වීමට වෙහෙසමු. මොහොතින් මොහොත මියදෙන කාලයට නවමු අරුතක් එක්කරමු
.
ඒ ඔබේත් මගේත් සමාජ වගකීමයි. අපි ඒ වෙනුවෙන් උත්සාහ දරමු. ලෝකය හැරයාමට උත්සාහ කරන දරුවකුගේ මනස වෙනස් කිරීමට, වෙහෙසින් මහන්සියෙන් හෙම්බත්වූ පුරවැසියකුගේ මනස ප්‍රබෝධමත් කිරීමට, ආදරයෙන් දයාවෙන් ලෝකයාගේ සිත සනසාලීමට ඔබේත් මගේ කටහඬ, කැමරාව, පෑන, පින්සල, මාධ්‍යයක් ලෙස යොදා ගන්නේ නම් වඩා යහපත් හෙටක් සඳහා වූ අපේ දායක්වය ගැන අපිට කිසියම් සතුටක් ඉතිරිවේවි. මුදලම ජීවිතය නොවන සමාජයක අපේ සමාජ වගකීම උදෙසා, ආත්ම වංචාවෙන් තොරව ජීවිතය දකින්න, විඳින්න, සමාජයට තෙවන ඇසක් අවැසි යුගයක අපි ජීවත් වෙමු. මේ හිස් අවකාශය අප වෙනුවෙනි.

ඉඳලා හිටලා
කතාකරලා දුක සැප අහන යාළුවෙක් බොහොම දුක්බර ආරංචියක් ගෙනාවා. සුනිල් අයිය වහබීල
නැතිවෙලා කියලා. මට පුදුම හිතුණා ජීවිතේ දරාගෙන ජීවත්වෙන්න ඕන සුනිල් අයියා වගේ
මිනිස්සු ප්‍රශ්නවලින් මිදිල යන්න ජීවිතේ නැති කරගන්නවා තරම් සරල වෙන්නෙ කොහොමද
කියලා?
එකපාර ප්‍රශ්නනෙකින් ගැලවිලා යන්න ජීවිතේ නැතිකර ගන්න එක
උත්තරයක් නම් මේ ලෝකේ මිනිස්සුත් නැතිවෙයි කියල මට හිතුණා. මොකද හැම මනුස්සයකුට ම
තමන්ගෙ විදියට මූණ දෙන්න ගැටලු තියෙනවානේ.
සුනිල් අයියයි කුසුම් අක්කයි කසාද බැන්දෙ ආදර සබඳතාවයකින්.ඒ දෙන්නට ඉන්නෙ දූලම දෙන්නෙක්.
කුසුම් අක්කා දරුවො දෙන්නව ඇස් දෙක වගේ බලාගත්තා. මහ ලොකු ආදායමක් නැතිවුණත්
පිරිමහගෙන ජීවත්වෙන්න ආදායමක් ඒ පවුලට තිබුණා. හත්දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා වුණු
කුසුම් අක්කට අනිත් සහෝදර සහෝදරියො හැමෝමත් උදවු කළා.
එහෙමත් එකේ
ජීවිතේ දාලා යන්න සුනිල් අයියට හිත් දුන්නෙ ඇයි කියල මම හොයල බැලුවා. චතුරි එහෙමත්
නැත්නම් සුනිල් අයියගේ පොඩි දූ ඉපදුණු දවස්වල ඉඳල ටිකක් අසනීපෙන් හිටි දරුවෙක්.
නිතර නිතර කලන්තෙ හැදෙන ගතියක්, තුවාලයක් වුණාම රුධිරය කැටි
ගැසීම ප්‍රමාදවීම නිසා අධික රුධිර වහනයට ගොදුරුවීම වගේ රෝග ලක්ෂණ ගණනාවකින් මේ
දැරිවිය පීඩා වින්දා. කුසුම් අක්කා ඇස් දෙක වගේ පොඩි දූගේ පස්සෙන් ඉදලා ඇයව
පරිස්සම් කළා. ළමා රෝහලින්, කොළඹ මහ රෝහලින්, වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ සම්බන්ධව ඉන්න විශේෂඥ
වෛද්‍යවරුන්ගෙන් ලැබුණු උපදෙස්, ප්‍රතිකාර නිසි විදියට
ලබාගත්තා. චතුරි පාසල් ගියා. අනිත් දරුවො වගේ දුවන පනින ක්‍රීඩා කරන්න නොගියත්,
චෙස් සෙල්ලම් කළා. කොටින්ම කියනවා නම් සාමාන්‍ය දරුවෙක් විදියට
ඇය ඇගේ වැඩ කොටස කරගෙන ගියා.
දවසින් දවස
දියුණු වෙන ලෝකේ අනාගතේ දවසක චතුරිගෙ අසනීපයට නිසි ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන්
කියල බලාපොරොත්තුවකුත් අපි හැමෝගෙම හිත්වල තිබුණා. මේ හැමදේම අතරෙ සුනිල් අයිය වහ
බීලා තිබුණා. ඒකට හේතුව වුණේ චතුරිගෙ අසනීපය මව්පියන්ගේ ජානවල දුර්වලතාවක් නිසා
ඇති වූ අසනීප තත්ත්වයක් බව වෛද්‍යවරුන් විසින් සොයාගැනීමයි. ඒ විතරක් නෙවෙයි
අනාගතේ දවසක විවාහ දිවියකට ඇතුළත් වුණත් දරුවෙක් බිහිකීරීම ඇගේ ජීවිතයට තර්ජනයක්
විය හැකියි කියලත් වෛද්‍යවරු කියල තිබුණා. සුනිල් අයියට ජීවිතේ නැති කරගන්න
ආසන්නම හේතුව වෙලා තිබුණෙ ඒක.
සුනිල්
අයිය ජීවිතේ දාල ගිහින් ඉවරයි. ඒත් කුසුම් අක්කට පුළුවන්ද ඒ තීරණේ ගන්න. මම ඒ ගැන
හිතුවා. පහුගිය දවසක දකුණු පළාතේ අම්මා කෙනෙක් තමන්ගෙ දරු දෙන්නටත් මේ විදියට
කරන්න කියලා තුන්දෙනාම ගෙල වැලලාගෙන මිය ගිහින් තිබුණු ප්‍රවෘත්තියත් මට මතක්
වුණා. වර්තමානෙ ජීවත්වෙන මිනිස්සුන්ට දෙයක් දරාගැනීමේ හැකියාව අඩුවෙලා ගිහින්ද? ඇයි එහෙම වෙන්නෙ.
ඉස්සර වගේ
නෙවෙයි දැන් හැමදේම ක්ෂණිකයි කියල මට හිතෙන්නේ. ඇත්ත මිනිස් හිත හරි ඉක්මණට කැඩිලා
බිඳිලා යන සබන් බෝලයක් වගේ තමයි. මේ ඉපදෙන හිතිවිල්ල ඊළඟ තත්පරයෙදි මිය යනවා. ඒ
වුණත් ජීවත් වෙනකොට, ජීවිතේට ප්‍රශ්න එනකොට අපිත් සබන්
බෝල වගේ බිඳිලා විසිරිලා ක්ෂය වෙලා යන්න ඕනෙද? ඇයි අපිට
බැරි ජීවත්වෙන්න, ජීවිතේ දිහා සුබවාදීව බලන්න.
මේ හැමදේම
වෙන්න අපි පරිකල්පනයෙන් ඈත් වීමත් එක හේතුවක් වෙන්න බැරිද? මට දැනෙන විදියට අපි පරිකල්පනයෙන් ඈත් වෙනකොට ජීවිතෙත් අපෙන් ටික ටික
ඈතට යනවා. හැමදේම කලින් සූදානම් කරලා තියපු දේවල්. අලුත් විදියට දෙයක් දකින්න
විඳින්න අපි සූදානම් නෑ. අනිත් හැමදේම වගේ වර්තමාන ලෝකේ මිනිස් ජීවිතෙත් පාරිභෝගික
භාණ්ඩයක් වෙලා.
අපි දැන්
හුරුවෙලා තියෙන්නෙ ක්ෂණික ලෝකෙකට. විනාඩි දෙකෙන් හැදෙන නූඩ්ලස්, ඉඳිආප්ප වගේ අපේ ජීවිතවලට එන ප්‍රශ්නවලට උත්තරත් අපි ඉදිරියේ මැවිලා
තියෙන්න ඕනෙ කියල අපි හිතනවද? විනාඩි දෙකෙන් හදන නූඩ්ලස්
වගේ. ජීවිතේ ප්‍රශ්න ගැන අපිට තීන්දු තීරණ අරගන්න පුළුවන්ද? ඒක අපි අනිත් අයට කරණ කොච්චර අසාධාරණයක්ද? ඇයි
අපි ඒ ගැන හිතන්නෙ නැත්තෙ. හිතන්න මොහොතක් අපිට අපි ගැන අපේ ජීවිත පවත්වාගෙන යාම
හෝ නොයෑම ගැන තනි තීරණ ගන්න පුළුවන්ද? ගැටලුවකට
මුහුණ දුන්විට අනේ මේකට උත්තර හොයනවට වඩා මියැදෙන එක හොඳයි කියල කෙනකුට හිතෙන්න
පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය වුණත් අපි බැඳිලා ඉන්න යුතුකම් වගකීම් එක්ක ඒ තීරණේ
කොච්චර වලංගු ද කියල හිතලා බලන්නම වෙනවා.
දරුවගේ
අසනීප තත්ත්වෙ දරාගන්න බැරිවෙච්ච සුනිල් අයියා මියදෙන්න කලින් කියල තිබුණා එයාගෙ
ජානවල දෝෂයක් නිසා දුව අසනීප වීම දරාගන්න බැහැ, දරුවෙක් නැති
අනාගතේ කෙල්ලට දුක්විඳින්න වෙයි. ඒක දකිනවට වඩා මරණය හොඳයි කියලා. දැන් ඒ දරුපවුල
ගැන හොයල බලන්නෙ කවුද? මෙතුවක් දෙන්නෙත් එක්ක බෙදාගත්
ජීවිතය තනියම කරගහගෙන යන්න කුසුම් අක්කට කොච්චර ශක්තියක් තියෙන්න ඕනෙද? අම්මල මහමෙර උසුලනවා කියන එක ඇත්ත කියලා මට මේවෙලාවෙ හිතුණන්, මට අනුව සුනිල් අයියා කියන්නෙ තමන්ගෙ වගකීම යුතුකම මඟ හැරදාපු
පරාජිතයෙක්.
අසනීපෙන්
ඉන්න දරුවෙක් ගැන හිතලා දිවි නහගන්නවට වඩා ඒ දරුවගේ අනාගතය වෙනුවෙන් ඒ පුංචි හිත
ශක්තිමත් කරන්න, හැම කුරුල්ලකුටම පියාඹන්න බැහැ, බිම ඇවිදින කුරුල්ලොත් ඉන්නවා කියල දෙන්න ඒ තාත්තා ජීවත් වුණා නම්
කොච්චර වටිනවද? දරුවගේ අසනීපෙ නිසා මනසින් බිඳ වැටුණු
සුනිල් අයියට එයාගේ දරුවට වගේ ම තවත් දරුවො ඉන්නවා. ජීවිතේ කියන්නෙ ප්‍රශ්නවලින්
පලායාම නෙවෙයි. උත්තර හොයාගැනීම කියලා, කියා දෙන්න කෙනෙක්
හිටියා නම් සමහරවිට ඔහු තාමත් ජීවතුන් අතර සිටින්නත් පුළුවන්.
නුඹ ගැන ආඩම්බරයි
13 Jan 2014 1:37 AM (12 years ago)
අද මං
"චුටි” ගැන ලියන්න
හිතුවා. ඇත්තම
කියනවා නම්
චුටි” ගැන
කියන්න හිතුවා.අනිත් අයට
"චුටි” එහෙම නැත්නම්
චූටි නංගී”, "චූටි
අක්කා” වුනත්
ඇය මගේ
එක්කුස නූපන්
එකට අකුරුකළ
සොහොයුරියන් කීප
දෙනාගෙන් එක්
සොයුරියක්.
අපි එකම
පාසලේ එකම
පංතියේ එකට
අකුරු කළා.
සාමාන්‍ය
පෙළ විභාගය
උසස් පෙළ
ඉගෙන ගන්න
ප්රමාණවත්
තරමින් සමත්
වුණා. ඉන්
පස්සෙ උසස්
පෙළ කලා
විෂයන් හදාරන්නත්
අපි එක්ක
එකතු වුණා.
බොහොම සතුටින්
එක බත්පත
බෙදාගෙන කාලා
ඒ වසර
දෙක ගතකරන්න
අපි හීන
මැව්වා. ඒත්
දෙමාසයක් යන්නත්
කලින් මගේ
මිතුරියට ඉගෙනීම
එපා වුණා.
අපි කොච්චර
කිව්වත්,
ඇඬුවත්, දෙඩුවත්
වැඩක් වුණේ
නෑ. අන්තිමට
අපි ඇගේ
ගෙදර ගියා.
එක කොල්ලෙකුයි
කෙල්ලො හතර
දෙනකුයි ඉන්න
ගෙදර බඩපිස්සිගෙ
හිත වෙනස්
කරන්න එයාගෙ
ගෙදර අයටවත්
අපිටවත් බැරිවුණා.
අපි පාසල්
ගියා. ඇය
මහරගම හන්දියෙ
අයියගෙ රෙදි
කඩේ වැඩට
උදවු වෙන්න
ගියා. බෑග්
මහන්න ඉගෙන
ගත්තා. අපි
පාසල් ගියා.
උසස් පෙළ
විභාගය ඉවරවුණා.
සමහරු කලින්ම
කසාද බැන්දා.
තවත් අය
නාට්‍ය කරන්න ගියා.
අපි කීප දෙනෙක්
සරසවි ගියා.
"චුටි” මහරගම කඬේ
ඉන්න ගමන්
පරණ සිංගර්
මැෂින් එකක්
තියාගෙන සරම්
චීත්ත මූට්ටු
කරන්න පටන්ගත්තා.
රස්සාවට නෙවෙයි, තමන්ගෙ
එකම අයියගේ
ව්‍යාපාරයට
කරන උදව්වක්
විදියට.
මහරගම රෙදි
කඩයක් දාන්න
කලින් පොළෙන්
පොළට ගිහින්
ලෑලි තට්ටුවක
තියාගෙන රෙදි
විකුණත්දිත් විකුණන්න
ගේන කෑලි
රෙදිවලින් සාම්පල්
අරගෙන හෝදල
බලලා, සායම්
යනවද රෙදි
ඇකිලෙනවද කියලා
හොයලා බලන
පුරුද්දක් චූටිගේ
පවුලේ අයට
තිබුණා. මොනදේ
කරත් තමන්ගෙ
පාරිභෝගිකයන්ට ඇත්ත
ඇතිසැටියෙන් පෙන්නල
බඩු විකුනනව
ඇරෙන්න හොරයක්
වංචාවක් කරන
පුරුද්දක් ඒ
පවුලට තිබුණෙ
නෑ.
අයියගෙ කඩේට
වෙලා ඉන්න
චූටි, පොඩි
පොඩි ඇදුම්
කැඩුම් මහන
තවත් කෙනෙක්
බලාගෙන හිටියා.
නමින් ඇය
අරලියා. ඉතින්
මේ පුංචි
කෙල්ලගෙ හැකියාවන්
අඳුනගෙන ඇගේ
දක්ෂකම් ඉස්මතුකර
දෙන්න ලොකු
වුවමනාවක් ආසාවක්
ඇතිවුණ, ඇය
ලස්සන රෙදි
කැල්ලක් දැක්කම
කීය දීල
හරි අරගෙන
ආවා. සමහර
වෙලාවට රෙදි
යාරේ මිල
රුපියල් දෙතුන්
සීයයේ ඉදල
දෙතුන්දාහ වෙන්නත්
ඇති.
මේ රෙදි
කෑලි අරගෙන
චූටි ගාවට
එන අරලියා, "වැරදුණාට
කමක් නෑ
චුටි නංගි
ඔයා මහන්න, මමනෙ
කියන්නෙ”
කියල චුටිව
දිරිමත් කළා.
ඉතිං චුටි
තනියෙන් හිමින්
හිමින් සාරි
හැට්ට, පාසල්
නිල ඇදුම්, මනමාලියන්ගෙ
ඇදුම් පැලදුම්
මහන්න පටන්ගත්තා.
අන්තිමට "චුටි” බයක්
හැකක් නැතිව
සාරි හැට්ටයක්, ගවුමක්, සායක් මහන්න ඉගෙන
ගත්තා. සමහර
වෙලාවට එකම
ඇඳුම තුන්හතර
වතාව ගලවලා
නැවත මහන්න
සිදුවෙන්න ඇති.
ඔය දේවල්
ඔහොම ගියා, චුටි
හිමීට තමන්ගෙ
මැහුම් කටයුතු
කරගෙන ගියා.
ඇගෙන් ඇදුමක්
මහගන්න, පිළිවෙළට
සාරියක් අන්දගන්න
එන, හිතවත්
හැමදෙනාම ඇගෙන්
හැමදාම අහපු
දෙයක් තිබුණා.
කවද්ද ඔයා
ඔයාගෙම කියල
දෙයක් පටන්ගන්නේ? චුටි
හිස වනලා
හිනා වුණා.
තව දවස්
තියනවා කිව්වා.
චුටි මැහුම්
ගෙතුම් විතරක්
නෙවෙයි, අයියගෙ
කඬේ ඉදිරිපස
ගොඩනැගිල්ලේ තිබුණු
රූපලාවන්‍ය
ඇකඩමියෙන් රූපලාවන්‍ය
හා හිසකේ
සැකසීම පිළිබඳත්
ඉගෙන ගත්තා.
2001 වසරේ බණ්ඩාරනායක
සම්මන්ත්රණ
ශාලාවෙ තිබුණු
මනමාලියන් දැක්මෙදි
වසරේ දක්ෂතම
සිසුවිය වුණෙත්
චුටි.ඉතිං 2002 වසර එළඹුණා.
මහරගම නැෂනල්
ගොඩනැගිල්ලෙ, කඩ කාමරයක
චුටිගෙ බලාපොරොත්තු
ඉටුවුණා. මහන්සි
නොබලා, වෘත්තීය
පුහුණු අධිකාරියෙ
අනුමැතිය ඇති
මධ්යස්ථාන
හරහා පුහුණුව, හා
අධ්යාපනය
ලබාගත් ඇය
රූපලාවන්‍ය
හා හිසකේ
සැකසීම පිළිබඳව
එන්.වී.කියු
සහතික පත්‍ර කාණ්ඩ
හතරම සමත්වුණා.
කාලයක් යද්දි
මහරගම හන්දියෙ
සාරි හැට්ටයක්
හරියට මහගන්න
කෙනෙක් හොයාගෙන
එන අයට
කටින් කට
තොරතුරු ආවා, චුටි
ගැන. හදිස්සියෙන්
සාරි කඬේකින්
සාරියක් අරගන්න
එන පාරිභෝගිකයෙක්, ඒ
සාප්පුවෙන්ම හදිස්සියෙන්
හැට්ට මහගන්න
තැනක් අහගෙන
හොයාගෙන ආවා.
ඒ විතරක්
නෙවෙයි ඒ
සාරි සාප්පුවල
වැඩ කරන
කාන්තාවන් අදින
නිල ඇදුමේ
සාරි හැට්ට
මහන ඕඩරෙත්
ඇයටම ආවා.
2011 වසරේ ඇය
කඩ කාමර
දෙකක්ම බද්දට
අරගත්තා. මැහුම්
හල සහ
රූපලාවන්යාගාරයට.
අද මගේ
පුංචි යෙහෙළිය, සහෝදරිය, දක්ෂ
කුඩා ව්‍යවසායිකාවක්. කාටවත්
බරක් නැතිව, ලයිට්
බිල්, වතුර
බිල්, ටෙලිෆෝන්
බිල්, ගොඩනැගිලි
කූලි ගෙවාගෙන, තවත්
කාන්තාවකට රැකියා
අවස්ථාවක් ලබාදීල
ස්වාධීනව නැඟී
සිටිනවා. ඇගේ
ඊළඟ හීනේ
තමන්ගෙ කියල
නිවසක්. අනුන්ට බරක්
නොවී තමන්ගෙ
දෑතේ මහන්සියෙන්
හරි හබ්බ
කරල පුංචි
ඉඩම් කෑල්ලක්
අරගෙන හෙට
අනිද්ද දවසක
ගෙදර වැඩ
පටන්ගන්න උත්සාහ
කරන ඇයට, ඇගේම
කියන නිවසක
හීනේ බොහොම
ඉක්මනට සැබෑ
කරගන්න හදවතින්ම
සුභ පතන
ගමන් මම
ඈ ගැන
ආඩම්බර වෙනවා.
අපේ පරම්පරාවේ
ඒ කියන්නෙ
නූතන පරම්පරාවේ
බොහෝ පිරිසක්
ජීවිතයේ සියල්ල
තමන් කරා
එළඹෙන තුරු
බලා සිටිනා
මොහොතක, ඇගේ
ජීවිතය ඇයම
සොයා ගැනීම
පිළිබඳව. දෙයක්
අනේ මං
දන්නෙ නෑ
කියල බලාගෙන
ඉන්නෙ නැතිව
දැනුම තියෙන
තැන් හොයාගෙන
ගිහිල්ල ඉගෙනීම
පිළිබඳව,
ඒ විතරක්
නෙවෙයි අපි
මේ වැඩේ
මේ විදියට
කරමු කියලා
තමන්ගේ මතයේ
විතරක් ඉන්නේ
නැතිව අනිත්
අයත් සමඟ
අදහස් හුවමාරු
කරගැනීම පිළිබඳව.
ලොකුම දේ
අනිත් අයටත්
තමන් යන
පාර ගැන, ආපු
පාර ගැන
කියාදීලා මෙන්න
මේ තැන්
වලින් මේ
වගේ උදව්
සේවාවන් පහසුකම්
ලබාගන්න පුළුවන්
ඒ තැන්වලට
යන්න කියන
එක ගැන.
ඉතිං නමින්
ඈ නිරෝෂණී
අබේසිංහ ඉන්නෙ
මහරගම නැෂනල්
ගොඩනැගිල්ලෙ වයිආර් ඒ පැෂන් සෙන්ටර් එකේ.
ගමනක් යද්දි
එද්දි යන්න
ඕනේ තැනට
යන්න එන්න
පාර මතක
නැති වෙලා
හැමදාමත් දුරකථනයෙන්
පාර අහගන්න
වද දෙනවා
වුණත්, ජීවිතේ
පාර වරද්ද
නොගෙන ඉදිරියට
යන්න අනිත්
අයට පාර
කියාදෙන නුඹ
ගැන මට
ආඩම්බරයි "නිරෝ ”

අදත් ලිහිණිට
ඔබට
කියන්න
කතාවක්
තියෙනවා.
මේ
කතාව
මට
කිව්වෙ
අම්මා
කෙනෙක්.
වචනයේ
පරිසමාප්ත
අර්ථයෙන්
ම
කුලුණුබර
හදවතක්
තියෙන
අත්තම්මා
කෙනෙක්
වූ
මේ
අම්මා
ජීවත්
වුණෙ
නුගේගොඩ
පේන
නොපෙනෙන
දුරක.
ඇගේ
අසල්වැසියො
වුනේ සිංහල
දෙමළ
මුස්ලිම්
ප්‍රජාව. මේ
හැමදෙනා
ම
එකිනෙකාගේ
දුකසැප
සොයාබලමින්
ජීවත්
වුණු
නිසාම
එකිනෙකා
අතර
සමීප
සම්බන්ධකමක්
තියෙනවා.
ලාලනි විජේසිංහ
ජීවත්
වුණෙ
මට
මේ
කතාව
කියපු
අම්මගෙ
නිවස
ආසන්නයේමයි.
ලාලනී
දන්න
දවස්වල
ඉදලම
ටිකක්
සැරවැර
කාන්තාවක්.
ඇයට
හිටියෙ
එකම
එක
දියණියක්
විතරයි.
මේ
අම්ම
ඒ
දුවව
හැදුවෙත්
තමන්ගෙ ආණ්ඩුමට්ටුවෙ තියාගෙනම
තමයි.
මේ
අම්මයි
දුවයි
අතර
හැමදාමත්
ගැටුම්
තිබුණා.
අහල
පහල
අයට
මේ
තත්ත්වය
ඉතාම
සාමාන්‍ය
දෙයක්
වෙලා
තිබුණා.
ඒ
වුණත්
ලාලනී
තමන්ගෙන්
දරුවට
වෙන්න
තියෙන
යුතුකම්, වගකීම්
හොඳින්
ඉටු
කළා.
කන්න
අදින්න
දීලා
පාසල්
යවලා
ඉගැන්නුවා.
අම්මලා
තාත්තලා
දරුවන්ව
මහපාරේ, දුම්රියනැවතුමේ, බස්
නැවතුමේ
දාලා
යන
රටක්නෙ
දැන්
සිරිලංකාව
කියන්නෙ.
කොහොම වුණත්
කාලයක්
යද්දි
ලාලනී
ගේ
දුව
ඉගෙන
ගෙන
ඉවරවෙලා
සෞඛ්‍ය
කේෂත්රයේ
රැකියාවක්
හොයා
ගත්තා.
පාර්ලිමේන්තුව
ආසන්නයේ
තියෙන
රජයේ
රෝහලක
කාර්යාලයීය
සේවිකාවක්
විදියට.
ලාලනීයි
මහත්තයයි
එකතුවෙලා
දුව
කසාද
බන්දලා
දුන්නා.
ඒ
විතරක්
නෙමෙයි
තමන්ටයි
කියල
තියෙන
සබ්බ
සකලමනාවම
ප්රාණභූක්තිය
තියාගෙන
දුවට
ලියා
දුන්නා.
කාලයත්
එක්ක
දියණියටත්
දියණියක්
උපන්නා.
ඇයටත්
දැන්
අවුරුදු
දාසයක්
දාහතක්
විතර.
කාලෙකට
කලින්
ලාලනිගෙ
මහත්තයා
මිය
ගියා.
දැන්
ලාලනී
ජීවත්වෙන්නෙ
තමන්ගෙම
දියණියත්
එක්ක.
මේ කතාවෙ
වැදගත්ම
කොටස
එළෙඹන්නෙ
දැන්, තාත්තත්
මියගියාට
පස්සෙ, ලාලනිගෙ
දුවට
අම්මව
තමන්ගෙ
අණසක
යටතට
ගන්න
වුවමනා
වුණා.
ඇත්තම
කියනවා
නම්
ලාලනීට
අම්මව
දැන්
කරදරයක්.
මිනිබිරීටත්
ආච්චි
අම්මව
හෝන්තුවක්.
මේ
හැමදේම
නිසා
ලාලනීව
වදයක්
කරගත්ත
දුව
ඇයව
රෝහල්
ගතකරා.
අහල
පහල
කීපදෙනෙක්
ඇය
බලන්න
රෝහලට
ගියා.
ඒ
ගෙවුණු
පෙබරවාරී
මාසෙ
දවසක්.
තමන්ගෙ
අසල්වැසියන්ව
දැකලා
හඬා
වැටුණු
ලාලනී
රෝහල්
ෙවෙද්‍ය
වාර්තාවක්
ඔවුන්ට
පෙන්නුවා.
ඒ
වාර්තාවේ
ලියවිලා
තිබුණෙ
ලාලනීට
මානසික
රෝගයක්
නොමැති
බවයි.
ලාලනී
ආපහු
ගෙදර
ආවා.
දුව
ලාලනීට
විරුද්ධව
පොලිසී
ගියා.
ග්‍රාම සේවකට
පැමිණිලි
කළා.
ඒත්
ඒ
කිසිම
දෙයකින්
තමන්ගෙ
අරමුණ
ඉටුකරගන්න
ලාලනීගේ
දුවට
බැරිවුණා.
ඒත් දැන්
තත්ත්වය
වෙනස්.
දෙසැම්බර්
මාසේ
මුල
සතියෙ
දවසක
ලාලනීගේ
ගෙදරට
ආපු
දුව
සේවය
කරන
රෝහලේ
ගිලන්
රියකින්
ලාලනී
ආයෙ
රෝහල් ගත කරන්න
රැගෙන
ගිහින්.
ආරංචි
විදියට
දැන්
ඇය
මානසික
සෞඛ්‍ය
විද්යායතනයෙ
නවත්තලා.
මේ
කතාව
අපිට
කියලා
ලාලනී
වෙනුවෙන්
උදව්කරන්න
කියලා
අපෙන්
ඉල්ලා
හිටිය
යෙහෙළියට
අනුව
අපි
ලාලනීට
උදවු
කරන්න
උත්සාහ
කළා.
එකසිය දහනවයට
කතා
කළා.
කාන්තා
කාර්යංශයට
කතාකළා.
කාන්තාවන්
වෙනුවෙන්
පිහිට
වෙන්න
තියෙන
හොට්ලයින්
නම්බර්
එකට
කතා
කළා.
ඒ
හැමදෙනාම
'හරි.
අපි
ඒ
ගැන
හොයා
බලන්නනම්' කීවා.
ඒත්
තාමත්
ඒ
ගැන ප්‍රතිචාරයක්
නෑ.
මේ
වගේ
දෙයක්
ගැන
ක්රියාත්මක
වෙන්න
සති
ගාණක්
යනවා
නම්
හදිසියේ
පිහිටක්
අවශ්‍ය
වෙන
කෙනකුට
අවශ්‍ය
සේවය
ලබාගන්න
පොරොත්තු
ලේඛනයේ
ඉන්න
වෙයි
ද
කියලත්
හිතෙනවා.
ඒත්
සමහර
විට
මේ
සටහන
පත්තරේ
පළවෙනකොට
ලාලනීට
සාධාරණයක්
වෙලා
තියේවි.
ලාලනීගේ කතාව
අපි
දන්න
අඳුනන
අනිත්
අය
එක්ක
බෙදාගනිද්දි
ලැබුණු
ප්‍රතිචාරත්
එකිනෙකට
වෙනස්.
‘‘අම්ම
තාත්තගේ
බූදලේ
වෙනුවෙන්
මිනී
මරාගන්න
රටක
මේ
වගේ
දේවල්
හරිම
සාමාන්‍යයයයි.
ඔච්චර
ඒ
ගැන
හිතන්න
එපා’’ කියල
එක්
කෙනෙක්
කීවා.
‘‘ඇයි
ඔයාලා
කවුරු
හරි
ප්‍රාදේශීය
ලේකම්
කාර්යාලෙ
සමාජසේවා
නිලධාරිණිට
මේ
ගැන
පැමිණිලි
කරන්නෙ
නැත්තේ.
වැඩිහිටි
පුද්ගයන්ගෙ
ආරක්ෂාව
වෙනුවෙන්
දැන්
වැඩිහිටි
ප්‍රඥප්තිය
සකස්
කරලා
තියෙන්නෙ
එතනට
යන්න.
ඒ
අය
උදවු කරාවි’’ කියලා තවත්
කෙනෙක්
කීවා.
‘‘දරුවො
ලොකු
මහක්වෙනකොට
ඒ
දරුවන්ගෙ
ලෝකෙ
අම්මල
තාත්තලට
ඉඩක්
නෑ.
එහෙම
බලාපොරොත්තු
වෙන්නත්
නරකයි.
හොඳම
දේ
තමයි
තමන්ට
නැති
බැරි
වෙනකොට
අනිත්
මිනිස්සුන්ට
කරදරයක්
නැතිව
හොඳ
හිත
තියාගෙන
ඉන්න
පුළුවන්
ආර්ථිකයක්
හදාගන්න
එක.
එතකොට
මහලු
නිවාසෙකට
ගිහින්
හරි
ජීවිතේ
සතුටින්
ගත
කරන්න
පුළුවන්’’තවත්
එක්කෙනෙක්
එහෙම
කීවා.
මේ
හැමදේම
අතරෙ
අනිත්
මිනිස්සු
වෙනුවෙන්
හඬා
වැටෙන, අනිත්
මිනිසුන්
වෙනුවෙන්
ජීවිතේ
යදින, ඒ
අයගේ
සතූට
ප්‍රාර්ථනා
කරන
නිහඬ
මනුෂ්‍යයින්
පිරිසක්
තාමත්
අපි
අතර
ජීවත්වෙනවා
නේද
කියන
හිතිවිල්ල
හිතට
සතුටක්
ගෙනාවා.
එත් මම ඔබෙන් අහන්න ඕන. හිතන්න මදක්
අපි
තාමත්
ඇස්
කන්
තියෙන
මිනිස්සු
ද
කියලා?.
කල්පණීගේ කල්පනා
4 Dec 2013 3:38 AM (12 years ago)

අහසෙ තියෙන්න තරු
ගනින්න යන්නද අම්මේ
හදහාමිගෙ රුව
දකින්න යන්නද අම්මේ
වළාකුලේ පාවෙන්ට
යන්නද අම්මේ
ඉගිල්ලිලා අහස දෙසට
යන්නද අම්මේ //
තරුකැට ටික ටික
අමුණා ඔබ හිස පලදන්නම්
වළාකුලේ කෑලි අරන්
තෝඩු හදන්නම්
තෝඩු දෙකක කනට දමා
හැඩද බලන්නම්//
අහසෙ තියන තරු මට
නම් හරිම ලස්සනයි
හදහාමිගෙ රුවත් ඒ
වගෙම ලස්සනයි
වළාකුලක් අනේ අම්මෙ
හරිම ලස්සනයි
අම්මාගේ මුහුණත් මට
හරිම ලස්සනයි.
අහසෙ තියන තරු
ගනින්න.....
මේ සොඳුරු පදවැලේ
හිමිකාරීණි ඞී .ජී. දිනූෂී කල්පණී. ඇය මට හමුවුනේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ
දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගල්තලාව ගමේ ඇගේ නිවසසේදීයි. අබාධ සහිත
කාන්තාවන් ගේ සංගමයෙන් දියත් කෙරුණු
උතුරු මැද හා නැගෙනහිර පලාතේ අබාධිත කාන්තාවක් විසිපස්දෙනෙක්ගේ ජීවිත කතා
ඇතුළත් කෘතියකට කල්පණිගේ ජීවිත කතාවත්
ඇතුළත් වුණා.
උපතින් ඇතිවූ
ස්නායු අබාධිත තත්ත්වයක් නිසා අනෙක් අයගේ උදව් උපකාර නැතිව දෙපයින් ඇවිදගත නොහැකි
වුවත්, දිනුෂි කල්පණී එවැනිම අනෙක් ආබාධ සහිත
තරුණ තරුණියන්ට අභියෝගයක් වෙමින් දෙපයින් නැගී සිටීමට, මට හමුවන විටත් උත්සාහ දරමින් සිටියා. සිය
නිවසටම පැමිණන රෝද පුටු පරිත්‍යාග ශීලීන්ට කල්පණී පැවසුවේ ඇයට රෝද පුටුවකට
සීමාවූ ජීවිතයකින් ප‍්‍රයෝජනයක්
නැති බවයි.
ශාරීරික අබාධ සහිත
බව ජීවිතයට ගැටලුවක් වුණත් සහජ දක්ෂතා රාශියක් ඇත්තියක ලෙස මම ඇය හදුනා ගත්තා. ගී
පද රචනයට වගේම ගීත ගායනයටත් කල්පණී උපන් හැකියාවක් දැක්වූවා. සිය දෙමව්පියන්
හැරුනවිට ඇය වඩාත් ආදරයට කරන්නේ සංගීත
විෂයට වුනත් ඇගේ පාසලේ සංගීත විෂය ඉගෙනීම පහසුකම් තිබුනෙ නෑ.
කල්පණී තම ජීවිතයේ
ලැබූ විශාලම භාග්‍යය ලෙස සලකන්නේ නිමල් චන්ද්‍රටසිරි සහ ඞී. ජී මාලනී දෙමව්පියන් ගේ නිම්මා නැති සෙනෙහසයි. පවුලේ එකම දරුවා වෙනුවෙන් ඇපකැපවූ ඔවුන් සිය
දියනියගේ අනාගත අභීවෘර්ධිය පිණිස ඇයට අවශ්‍ය සියළුම වුවමණා එපාකම් ඉටුකරන්නට
හදවතින්ම බැදී සිටියා. 1991 වසරේ
සැප්තැම්බර් 07 වනදා ඇය ඉපදුන දින සිට අද දක්වාම ඇගේ සියලූ ඕනෑ එපාකම් සපුරාලමින් අදටත් ඇගේ සෙවනැල්ල සේ
ඔවුන් නැගී සිටිනවා.
කල්පණී ගැන රටට
කියන්න ආසන්න හේතුව මේ කිසිවක් නෙවෙයි. පසුගිය දවසක කොළඹ බ්‍රිතාන්‍ය විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී වේදිකා
ගතවුණු “Eternal Returnz” එහෙමත්
නැත්නම් “ අවසන්වී නොවී දැල්වී, නිවී
දැල්වෙන අලෝකය” හෙවත් මට අනුව එය “සදාකාලික පුනරාගමනයක්”, කල්පණී සහ පිරිස විසින් වේදිකාවේ නීරූපණය කළා. නර්තන ශිල්පිල නාට්‍යය අධ්‍යක්ෂක මහේෂ් උමගිලිය
ගේ “විරංගා” කලායතනන යේ ඉදිරිපත්කිරීමක්
වූ එම වේදිකා නාට්‍ය යේ සුවිශේෂිතම චරිතය නිරූපණය
කළේ අරලගංවිල සිටි පැමිණි කල්පණී.
නාට්‍ය අවසාන ජවනිකාවේ උච්චතම අවස්ථාවේදී දීප්තිමත් රතුරෝස මල් කළඹක් රැගෙන
පැමිණී කල්පණී බොහෝ දුර ගමනක් යාමට පැමිණි අනෙකුත් ගමන් සගයන් කරා පැමිණ තම අතැති
මල් කළඹින් එක් මල බැගින් පිරිනමා ඔවුන් සිහිසුන් කරමින් තමන්ට වඩාත් ගැලපෙන
ස්ථානය සොයා ගැනීමට වෙහෙසුනා. අවසන ඇය සිය
අතැති අවසාන රතුරෝස මල පේක්ෂකාගාරයට දිගුකලා.
අබාධිත බව
කොන්කිරිමකට මිස පිළිගැනීමකට ලක් නොවක සමාජයකල
අබාධිතයින් කිසියම් වු දිනක තමන් වෙනුවෙන් අරගල කිරිමට ඇති ඉඩත්, ඒ
වෙනුවෙන් ඔවුනට ඇති හිමිකමත් ප්‍රේක්ෂක අප
ඉදිරියේ දිගහැරූ මහේෂ් උමගිලිය නාට්‍ය
අවසානයේ ප්‍රේක්ෂකයින්ට පැවසුවේ අබාධිත පුද්ගලයින් විසින් ඉල්ලා සිටිනු ලබන
රතුරෝස මලකින් සංකේතවත් වන ආදරය කරුණාව දයාව සහ පිළිගැනීම ඔවුනට ලබාදීමට, ඔවුන්ගේ
ආදරය අපි විසින් පිළිගැනීමට, අප කොතෙක්
දුරට සූදානම් දැයි තමන්ගෙන්ම විමසිය යුතු කාලය එළඹ ඇති බවයි.
ශාරීරික ආබාධිත
කල්පණි සමග එම නාට්‍යට එක්වූ අනෙක් නාට්‍ය ශීල්පීන් වන ශ්‍රවනාබාධිත ඉන්දික, මේනකා,
දිනුෂා සහ කුෂාන් වෙතින් හැකි උපරිම දක්ෂතාවන් කැපවීම සහ පුහුණුවෙන් උකහාගෙන සමාජ
දැක්මක් උදෙසා සිය නිර්මාණය ඉදිරිපත් කළ මහේෂ්
උමගිලිය ඇතුළු නාට්‍ය නිෂ්පාදක
පිරිවරට මගේ ප්‍රණාමය කල්පණි සහ සමස්ත
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මගේ ප්‍රණාමය දක්වන ගමන්, කල්පණී ගේ ඉල්ලීමක් මම
ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.
‘‘මම ඔයාල හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි, ඔබ ආබාධිත අයෙක් නම් අබාධිත බව සදාකාලික රෝගයක්
කර නොගෙන යන්තම් හෝ හැකියාවක් ඇතිනම් දෙපයින් සිටගෙන ජීවිතය දිනන්න කියලා. දෙපයින් හිටගෙන කියල මම අදහස් කරන්නෙ, තමන්ගෙ ශක්තිය, තමන්ගෙ ආත්ම විශ්වාසය. ඒ දෙක තියනව නම් අපිට අනිත්
අයට වගේම බොහෝ දේ කරන්න පුළුවනි. අපි අභියෝග භාරගනිමු, අභියෝග ජයගනිමු. ඒ වගේම සමාජයෙන් මම ඉල්ලා සිටිනවා. අපිත් ඔබ වගේමයි, වෙනස්
කොට සැලකීමක් අපිට එපා. අනුකම්පාවක් එපා. අපි ජීවිතේ බෙදාගමු.’’ ඒ දිඹුලාගල ගල්තලාව ගමේ දිනූෂි
කල්පණිගේ ආදරණිය ඇරයුමයි.
බලහත්කාරය සහ බලගැන්වීම
මිනිස්සුන්ට කන්න ඕන වුනාම
කබරගොයාත් තලගොයා වෙනව කියන එක අහන්න දෙයක් නෙවෙයි කියල දවසින් දවසම ඔප්පුවෙමින්
පවතිනවා. ඇති හැකි මිනිස්සු පුඵවන් තරම් කඩාවඩා ගනිත්දි නැති බැරි මිනිස්සුන්ට
තමන්ට තියෙන දේ රැකගන්නත් මහ විශාල අරගල කරන්නවෙලා. හුඟක් වෙලාවට මේ අරගලය
නිමාවෙන්‍නෙ ඇති හැකිවුන්ගේ බලයෙන් නැතිබැරි එකා පාගල, තමන් යන පාරෙන් අහකට
විසිකලාටත් පස්සෙයි.
ඊයේ පෙරේද දවසක මේකෙ අලුත්ම කතාව ඇහුනෙ රජරට පැත්තෙන්. සමාජසේවා
දෙපාර්තමේන්තුව අනුමැතිය අනුව සමාජසේවා දෙපාර්තමේන්තුවට අයත් අක්කර හතක ඉඩමක,
රජයෙන් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරල හදපු ආබාධිතයන් සදහා නේවාසික වෘත්තීය
පුහුණුව ලබාදෙන ආයතනයක්, මහ ඇමතිගෙ මූල්‍ය ප්‍රතිපාදන සපයාගෙන තමන්ගෙ ආයතනයේ සීමා
මායිම් සළකුණු කරගත්තා. අතපය හතර හොදින් තියෙන ගැහැනු මිනිසුන්ටත් ආරක්ෂාවක් නැති
මේ කාලේ, තමන් බාරයේ ඉන්න ආබාධිත දරුවන්ගෙ සහ වැඩිහිටියන්ගෙ ආරක්ෂාව ගැන හොයල
බලන්න, ආරක්ෂාව තහවුරු කරගන්න එක වැරදි දෙයක් නොවෙයිනේ.
ඉතින් මේ වැඩේ වෙද්දි
ගම්මු ලේසියට යන්න එන්න හදාගෙන තිබුණු කෙටි පාර වැහුණා. නවාතැනේ ඉන්න ගෑනු
දරුවන්ගෙ ඇදුම් පැළදුම් වැල්පටවලින් අතුරුදන් වෙද්දි ඒ ගැන සොයා නොබලා ක්‍රියාත්මක
නොවුනොත් ඉස්සරහ දවසක ඊට වඩා ලොකු ප්‍රස්නවලට මූහුණ දෙන්න තියෙන ඉඩ අහුරන්න එපැයි.
මේ සිද්ධිය කෙළවර වුණේ
උද්ඝෝෂණයකින්, තමන්ගෙ ගමේ පළාතේ කවදාක හෝ දිනක තමන්ට අයිතිකරගන්න පුළුවන් ඉඩම් කොහෙවත් ඉදල
ආපු ආබාධිතයින්ට දෙන්නෙ මොකටද කියල පළාතේ මහජන නියෝජිතයෙක්ගෙ ඔළුවට මුලින්ම
ආපු මේ කල්පනාවට තටු ලැබුණා. ඒ කතා බහ නැවතුනේ ගම්මානේ කඩපිල්වල හේන් වල, නිවෙස්වල
හිටි දුප්පත් ගොවි මහතුන්ගාව. හාර පන්සීයක් මිනිස්සු බල මුළු ගැනුණා. මේ හැම
දෙනාටම එක පාරටම අනේ මටත් ඒ අක්කර හතෙන් පර්චස් එකක් දෙකක් වත්ලැබෙනව නම් කියල
හිතෙන්න ඇති.
මොකද මේ වෙද්දි මුළු
ලෝකෙම දැරනියගල හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීතුමා නූර් වත්තෙ කොටසක් අයිතිකරගෙන තිබුණෙත් ඔය
කියන ක්‍රමයට පර්චස් සුළු සුළු ගණන්වලට පළාතේ මහජනතාවට ලබාදෙන්න කියනවනේ, ඉතින් ඒ
පූර්වාදර්ශය රටේ අනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අරගන්න එක ගැන කාටවත් දොසක්
කියන්නත් බැහැනේ.
අන්තිමට සිද්ධ වුණේ ප්‍රාදේශීය
දේශපාලනයින් විසින් උසිගන්වපු ගමේ ගොඩේ දුප්පත් මහජනතාව එක් රැස්වෙලා, තමන්ගේම
මහජන මුදලින් ඉදිකෙරුණු කම්බි වැට ඉවක් බවක් නැතිව කඩල බිදල දැම්ම එක. ඒ විතරක්
නෙවෙයි ඇවිද ගන්න බැරි රෝද පුටුවට වෙලා ඉන්නෙ නැතිව තමන් වගේම අනෙක් ආබාධිතයන්
ගැනත් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්න වෙහෙසෙන ගැහැණියකට මරණීය තර්ජන එල්ල කරන්නත්
ඔවුන්ට හයියක් ඇවිල්ල තිබුණා.
සිවිල් නීතිය යටතේ පොදු
දේපලට හානි කිරීම බරපතල වරදක් වෙද්දි, පොලිසියේ පිහිට පතනවා ඇරෙන්න වෙන මොනවද
කරන්න තියෙන්නේ. ඉතිං නීතිය රකින උදවිය ඒ ගැන සැලකිලිමත්වෙලා ඒ සම්බනධව කටයුතු
කරන්න පොරොන්දු වුණා. දවසක් ගත වුණා දෙකක් ගත වුණා තුන්වැනි දවසෙ නගරෙ මැද්දෙ තවත් මහා උද්ඝෝෂණයක්, ආබාධිතයින් ලිංගික
අපයෝජනයෙන් බේරාගනිමු කියල. අර පළවෙනි
දවසෙ ආබාධිතයන්ට මොන ඉඩම් ද කියල අහපු උදවියම තමයි මේ දෙවැනි බෝඩ් කෑල්ලත් අල්ලගෙන
හිටියේ. ආබාධිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්.
ලස්සනම දේ වෙන්නෙ ඊට
පස්සේ. පොලීසියයේ ලොකු මහත්තයයි, අදාල ආයතනයයි කතාබහ කරල ඒ ඉඩම මැද්දෙන් නැතිව
කෙලවරකින් පාර දෙන්නම් කීවාම අර ලිංගික අතවර ගැන කියල උස්සගෙන හිටිය බෝඩ් කෑලි
අල්ලන් හිටි උදවිය, ඒවත් කිහිලි ගන්න ගෙන බොහොම සාම කාමීව විසිරිලා ගිය එක.
අපේ රට විනාසවෙලා
තියෙන්නෙ මේ ජරාජීරණ දේශපාලනය හින්ද කියලා මේ සිද්දියෙන් නැවත නැවත පැහැදිලි වෙනව.
අපේ රටේ විතර විචාර බුද්ධියක් තියෙන ඡන්ද දායකයො වෙන කොහේවත් නැතුව ඇති කියලයි මට
හිතෙන්නෙ. කැපුවත් නිල් කැපුවත් කොළ කියන පදනම නැති වුණත් අනිත් කාට මොනව කළාම
මොකද අපිට හොදක් වෙනව නම් කියල හිතල අපිත් ඡන්දය දෙනවා.
අල්ලස්, ස්ත්‍රී දූෂණ,
ළමා අපචාර, තර්ජණය කිරීම්, බිය වැද්දීම් මේ හුඟක් චෝදනාවන් තියෙන අයටම ප්‍රධාන
දේශපාලන පක්ෂවල නාම යෝජනා අනිවාර්යෙන්ම ලැබෙනව කියල පහුවුණු දවස්වල පලවෙලා තිබුණු
ප්‍රවෘත්ති සාක්ෂි දරනවා. ඉතින් නැවත වරක් බලයට පත්වෙලා ඒ වැරදි ටික නැවත නැවතත්
කරන්න ඔවුන් අපෙන් වරමක් ඉල්ලනවා. අපිත් ඉතින් දෙයියනේ කියල ඡන්ද පොලට ගිහින් ඒ
වරම දීල එනවා.
අඩුම තරමින් අනිකා ගැන
හිතන්නමතන්න පුළුවන්, සමාජය ගැන හැඟීමක් දැනීමක් තියෙන අධ්‍යාපනයෙන් කිසියම්
විනයක් හික්මීමක් ලැබුණු උදවිය ගමෙන් පළාතෙන් දේශපාලනයට ගෙන එන්න කටයුතු කරනවා නම්
ටිකක් හරි මේ ගැටලුවලට උත්තර හොයාගන්න පුළුවන්වෙයි.
හැමදාම බොමු
27 Oct 2013 7:28 PM (12 years ago)
කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාන මගේ යෙහෙළියක්
කොළඹ මහ රෝහලට ආවේ ඇගේ ඥාති සොයුරියක ගෙ දුක සැප බලන්න. නිතර හමු නොවෙන නිසා ම අපි
දෙන්නත් අතර මඟක මුණ ගැහුණා. “නංගිට කොහොමද දැන්” ඒ මගේ
පළවෙනි ප්‍රශ්නෙ. "කියන්න තරම් ගුණයක් නෑ. සතියකට වරක් ලේ පිරිසුදු කරනවා.
වකුගඩුවක් බද්ද කරන්න ඕනෙලු. ඒත් නංගිගෙ අසනීපත් එක්ක ඒකත් කරන්න අවදානම්ලු. මොනවා
කරන්නද ලිහිණි, විහින් හදා ගත්ත ලෙඩ." මගේ මිතුරියගේ
පශ්චත්තාපය පවුලෙ එකම දරුව ගැනයි, ඇය වෙනුවෙන් දිවා රෑ
නැතිව කැපවෙන වැලපෙන මවුපියන් ගැනයි.
ඇගේ රෝග ඉතිහාසය ගැන තරමක් දුරට දැනුවත්කමත් තියෙන
නිසා ම අනිත් අයටත් ඒ අවබෝධය ලබාදෙන්න මට වගකීමක් තියෙනවා කියල යටි හිත මාව
කොනිත්තන්න පටන්ගත්තා. අපි ඇයට නමක් දෙමු. ඇය දිදුළි. පවුලෙ එකම දරුවා. අම්ම තාත්ත
ඇහැක් වගේ තමයි දිදුළිව බලාගත්තෙ. දිදුළිගෙ ගෙදර ගබඩා පහසුකම් තිබුණා. ඉතිං අමතර
අදායමත් ලබන්න මේ හිස් ඉඩ බදු ගත්තෙ පැණී බීම සමාගමක්, තමන්ගෙ
ගෙදර හිතූ හිතූ පාටින් පැණි බීම තොග ගණන් තියෙන කොට නොබී ඉන්න පුළුවන් කාටද?
මේ කෙළි පොඩිත්ති කාන්දමක් වගේ අර පැණි බිමවලට ඇදිල ගියා. ඒ
අම්මට තාත්තට තියා කාටවත් ම පැණි බීම ඇබ්බැහියෙන් දිදුළිව බේර ගන්න බැරිවුණා. දැනට
අවුරුදු කිපෙකට කලින් දිය වැඩියාව දිදුළිව වෙලා ගත්තා. අවුරදු දොළහ දහතුන වයසෙ
දරුවෙක් වෙලා හැමදාම ඉන්සියුලින් එන්නත් කරගන්න ඇයට සිදු වුණා. දැන් අලුත් ම
තත්ත්වය, ඇය වකුගඩු රෝගියෙක්, දිය
වැඩියාව නිසා තවත් අතිරේක සංකූලතා රාශියකින් පීඩා විදින දරුවෙක්. ඇගේ අසනීපයට මූල
බීජය කුමක්ද? මම ටිකක් ඒ ගැන හොයලා බලන්න හිතුවා.
වකුගඩු රෝග හඳුන්වන දෙවිදියක් තියෙනවා. වෛද්‍ය
විද්‍යාවෙදි මෙය හඳුන්වන්නෙ වකුගඩු අකරණය කියලා, එයත් කොටස් දෙකකට බෙදෙනවා.
එකක් තීව්‍ර වකුගඩු අකරණය, අනෙක කාලික වකුගඩු අකරණය හෙවත්
නිදන්ගත වකුගඩු අකරණය, දිදුළිට වැළදිලා තියෙන්නෙ කාලික
එහෙමත් නැත්නම් නිදන්ගත වකුගඩු අක්‍රීය වීම, වකුගඩු අක්‍රීය
වීමට බලපාන හේතු ගොඩයි. දියවැඩියාව හෝ අධික රුධිර පිඩනය, නිරන්තර
මුත්‍රා ආසාදනය, වකුගඩු ගල්, සර්ප
දෂ්ඨන , වස විෂ පානය, ඒ දිග
ලිස්ට් එකෙන් කිහිපයක්. ඉතින් දිදුළිගෙ රෝගයට බලපාලා තියෙන හේතු සාධකේ ඇස් පනාපිට
මට පේන්න ගත්තා.
ඒ එක්කම අනාගත ළමා පරම්පරාව හරහාත් මේ
මාරාන්තික අනතුර වැටිලා තියෙනවා කියලත් මට පේන්න පටන්ගත්තා. මොකද අපි දැන් සොබාවික
දේ පරිභෝජනයෙන් ඈත්වෙලා කෘත්‍රිම පරිභෝජන රටාවකට බොහොම වේගයෙන් ඇදී යමින් ඉන්න
නිසා. රූපවාහිනිය එක්ක ගෙදර සාලෙට එන වෛයිවාරන්න කෑම බීම, ණය පත
අරගෙන සුපිරි වෙළෙද සලට ගොඩවෙලා කූඩයක් පිරෙන්න එළවළු මාළු අරන් එන අම්ම තාත්තා
එක්ක ගෙදරට එනවා. පණුවෙක් කොළයක් කාලා නැති කොළ මිටියක්, පණුවෙක්
විදල නැති බෝංචි කරල්, හොද සනීපෙට හැදිච්ච එළවළු ලස්සනට
බත් පතට එකතු වෙනවා. ඉස්සර නම් පැණි දොඩමකින්, පැෂන්
ගෙඩියකින් බීම හැදුණු ගෙදර, කෑම මේසේ පාට පාට ලස්සන
බෝතල්වලින් එන පැණි බීමවලින් පිරෙනවා. අවුරුද්දට, නත්තලට
විතරක් නෙවෙයි, අම්මගෙ උපන්දින උත්සවේටත් මේ පැණි බීම අත්‍යවශ්‍ය
වෙනවා. අම්මා, තාත්තා එක්ක සුපර් මාකට් එකට යන පොඩිත්තො
තම තමන්ගෙ කැමැත්ත ඉල්ලලා හඬා වැටෙන කොට අම්මලා, තාත්තලට
මේ දේවල් අරන් නොදී බැරි වෙනවා. ඉතින් අපි දැනුවත්ව රස කාරක කියන වහ කාරක අපේ ගෙදර
කෑම මේසෙට එක්කර ගන්නවා. දරුවොත් සතුටින් පිනා යනවා. ඊට පස්සෙ අපේ වකුගඩු අපි
විසින්ම නාස්තිකර ගන්නවා.
මේ ගැන හොයද්දි මම දැන ගත්තා, අපි
අහාරයට ගන්නා කෘත්‍රිම වර්ණකවල පැහැය ඉවත් කිරීමට පමණක් වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට
වඩා පනස් ගුණයක් වේගයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ ආහාර වර්ණ ඉවත්කිරීම
සඳහා පමණයි. ඊට අමතරව ශරීරය පිරිසුදු කිරීම සඳහා, ශරිර ගත
වස විස මුත්‍රා මාර්ගයෙන් පෙරා ඉවත්කිරීම සඳහා මේ නොනවතින යන්ත්‍රය දිනකට කී වරක්
ක්‍රියාත්මක වනවා ඇත්ද?
ඔබ දන්නවාද මෙම රෝගය වයස් තරාතිරමක් නොමැතිව
මිනිස් සිරුරේ සැඟවී පවතින බව. රෝග ලක්ෂණ දැනෙනා විට වකුගඩු 40 % - 60%
දක්වා අක්‍රිය වී අවසන් බව, රෝග ලක්ෂණ නොමැතිව නිසා වසර
ගණනක් සිට වකුගඩු රෝගීන් රෝගය තමන්ට ඇත්දැයි නොදැන සිටින බව.
වර්තමාන සංඛ්‍යාලේඛන අනුව රජරට පළාතේ මේ තත්ත්වය
මාරාන්තික වසංගතයත් වෙලා, එකම ගෙදර තාත්තා මිය ගිහින්, පුතා අසාධ්‍ය
තත්ත්වයෙ ඉදිද්දි, අම්මා වකුගඩු රෝගී සායනයට යනවා. මේ
තත්ත්වය බරපතළ සමාජ ප්‍රශ්නයක් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. එහෙම තත්ත්වයක්
තියෙද්දි, අපේ දරුවන්ට කෘත්‍රිම රස කාරක, වර්ණ කාරක අඩංගු ක්ෂණික ආහාරපාන තව දුරටත් ලබා දෙනවාද කියලා නැවත
නැවතත් හිතන්න ඉඩක් හොයාගන්න වෙනවා.

ඉපදෙන
හැම ගැහැනියක්ටම, පිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව
හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “මනුස්සයා” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන
නිපාත, උපසර්ග විශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර
ලෙස වෙනස් වෙනවා. ද, නරක, දක්ෂ, අදක්ෂ, ලෝභ, පරිත්‍යාගශීලී, පසන්, සුපසන්, එවැනි අර්ථ කීපයක්,
භානු ප්‍රසන්න පෙරේරා, අද අපි අතර නැතත් අර මං කලින් කිව්ව විදියට මනුස්සයෙක් කියන අර්ථයෙන්
ගත්තම උත්තම මනුස්සයෙක්. භානු ගෙ දෙමව්පියන් ඔහුගෙ නමට “ප්‍රසන්න” කියල කොටසක් එකතු කරල තිබුණා.
භානු ක්‍රියාවෙන් වගේම හැසිරීමෙනුත් තමන්ගෙ දෙමාපියන් දී තිබුණු නමේ අර්ථය
සම්පූර්ණ කරගත්ත මිනිහෙක්.
අපේ ජීවිත කාලය තුළ අපි හැමදාම දැකපු භානුට තිබුනෙ හරිම
අව්‍යාජ හිනාවක්, හරිම “ප්‍රසන්න” සිනාවක්, භානුව දන්න හදුනන අයට ඒ ජීවිත කාලෙ පුරාම හිනාවක් නැතිව භානුට තරහ
ගිහින් හිටපු දසුනක් මවාගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ. ඒ තරමටම “භානු ප්‍රසන්න” නිරහංකාර සරල ජීවිතයක් ගත
කළා. කවුරුම හරි කෙනෙක් භානු ළඟට ඇවිල්ල තමන් කරන්න යන මොකක් හරි වැඩක් ගැන කියල, උදව්වක් ඉල්ලුව නම් කවමදාවත් ඒ උදව්ව භානු අතින් පැහැර හැරුනෙ නෑ. ඒ
උදව්ව කරන්න යන්න තිබුණෙ, කතරගමටද, අනුරාධපුරේට ද, යාපනේටද කියන එකත් භානුට
වැදගත් වුනේ නෑ. අද උදේ කොළඹ ඉන්න භානුට සවස දුර ඇමතුමක් දුන්නම ඉන්නෙ අනුරාධපුරේ
කිව්වම අපි පුදුම නොවුණෙ ඒ නිසා. භානු දුර ඈත වැඩක් භාර ගත්තත් ඒක ළඟ පාත වැඩක්
වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ.
භානු හරි සරල මිනිහෙක් කියල හුගක් අය
කිව්වා. ටී ෂර්ට් එක ඇදගෙන, කැප් තොප්පිය දාගෙන, පුංචි බෑග් එකක් පිටේ එල්ල ගෙන මෝටර් සයිකලේ නැගල යන භානු ට හුඟක්
යාළුවො හිටියා. අතර මඟ මුණ ගැහෙන දන්න අදුනන මූණක් එක්ක කතා කරල යන්න වෙලාවක්
නැත්නම් බයිසිකලේ හෝන් එක ගහල අතක් වනල යන පුරුද්ද භානුට තිබුණා. ඉතිං හුගක් අයට
අනුව භානු හරිම සිම්පල් චරිතයක්.
එත්
තවත් සමහර අය කිව්වෙ භානු හරිම සංකීර්ණ චරිතයක් කියල. එහෙම කියන්න හේතු තිබුණා.
තමන් වටේ ඉන්න තමන් ඇසුරු කරන හැමෝම එක්ක කතා බහ කරද්දි ඒ තනි, තනි පුද්ගලය එක්ක කතා
කරන්න, ඒ හැමෝගෙම හද දොර යතුර මොකක්ද කියල භානු
හොදාකාරවම දැනගෙන හිටියා. දේශපාලන චරිතත් එක්ක දේශපාලනය ගැන කතා කරන්න, සංගීතය ජීවිතය වෙච්ච මිනිස්සු එක්ක සංගීතය ගැන කතා කරන්න, කලාව ගැන කතා කරන්න කැමති මිනිස්සු එක්ක කලාව ගැන කතා කරන්න වගේම, මේ කිසිම දෙයක් ගැන රුචිකත්වයක් නැති මනුස්සයෙක් එක්ක ඔහු කැමති ඕනෑම
දෙයක් ගැන කතා කරන්න භානු දැනගෙන හිටියා.
ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන
කියමන භානු බොරුවක් කියල ඔප්පු කලා. අභිරූපණ ශිල්පියෙක්, අංගරචනා ශිල්පියෙක්, කැමරාකරුවෙක්, කලා අධ්‍යක්ෂකවරයෙක්, තිර රචනා
ශිල්පියෙක්, රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙක්, වේදිකා
නාට්‍ය ශිල්පියෙක්, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක්, රචකයෙක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්, නිශ්පාදකවරයෙක්. මේ හැමදේටම වඩා භානු, යහපත්
මනුස්සයෙක්, උණුසුම් සහෝදරයෙක් දක්ෂ ගුරුවරයෙක්.
භානු ගෙ අන්තිම කෙටි චිත්‍රපටයෙ සංගීතය සහ රඟපෑම ඇරෙන්න අනෙක් සෑම අංශයක්ම
නිර්මාපකය වුනේ භානු.
අවුරුදු හතළිස් දෙකක කෙටි
ජීවිත ගමන නිමා කරල පහුගිය විසිතුන් වෙනිදා භානු යළි නොඑන්නම කාටවත්ම නොකියා
ගිහින් තිබුණා. ඒ ආරංචිය දරාගන්න බැරිව විශ්වාස කරන්න බැරිව, විසිතුන්වෙනිද උදේ ඉදල, දවල් එකොළහ, දොළහ, එක වෙනකම් විවිධ තැන්වල
විවිධාකාරයෙන් භානුව ඇසුරු කරපු සහෘදයො එකසිය පනහක් දෙසීයක් විතර හෝමාගම රෝහලට ආව
ගියා. ජීවත් වුනත් මැරුණු මිනිසුන් සිය දාස් ගානක් ඉන්න රටක, මැරුණත් මැරුණයි කියල විස්වාස කරන්න බැරි මිනිහෙක් වෙන්න පුළුවන් අතේ
ඇඟිළි ගාණටත් අඩු පිරිසකට විතරයි. භානු ඇත්තටම මිය ගිහිල්ලත් ජීවත් වෙනවා.
හැමදාමත් වගේ මියගියවුන් පිළිබඳ වේදනාව ජීවත්වන්නවුන්ට ඉතිරි කරල භානු යන්න
ගිහින්.
මාසයක් දෙකක් තිස්සෙ සුව නොවෙමින්
තිබුණු කැස්ස හෙම්බිරිස්සාව වෙනද වගේම ඔහු ගණන් අරගෙන නොතිබුණු නිසා වෙන්න ඇති, ඒ පෙනහළු දෙකම අක්‍රීය කරන්නට වෛරසයකට පුළුවන් වෙලා තිබුණේ.
සම්පත් පෙරේරා ඇමිණූ පද කීපයක් ජුනි
විසිහය වැනි බදාදා හැන්දෑ වරුවෙ කොට්ටාව කනත්තෙ ශෝකී බටනලා හඩත් සමග ඒකාත්මිකවූ
ගිටාරයේ තත් බිදුණු හඩ සමඟ මුසුවුණා. ඒ ශෝකී හඩ භානු ප්‍රසන්න සහෘදය වෙනුවෙන්
එතැනට ඇවිත් හිටි හැමෝගෙම නෙත මුල කදුළක් එකතු කළා. භානු වෙනුවෙන්, ලියවුණු, භානු වෙනුවෙන් ගීතවත්වුණූ, භානු වෙනුවෙන් ගැයුණු ඒ පද පේළි හතර භානු ගැන සදාතනික මතකයක් ඉතිරිකරල
හැමෝගෙම හදවත්වල තැන්පත් වුණා.
“අදුරු වළාවක වැසුනට සද මඬල
නතර නොවේ ඉන් ගලනා සඳ එළිය
අතැර
ගියත් අප ඇස රඳවා කඳුළ
නිතර
ගැවසෙමින් ඇත ඔබ අප අතර”
මේ සටහන ලියවෙන අද භානුගෙ සුන්දර අව්‍යාජ හිනාව මගේ
ඇස් ඉදිරියේ සැබෑවට පෙනිල නොපෙනී ගිහින් මාස කීපයක් වෙනවා. සරමක් කුර්තාවක් ඇදගෙන
ලස්සන හිනාවක් අරගෙන මගේ මංගල්ලෙට ආපු උඹ මේච්චර ඉක්මනට යනවා කියල දන්නව නම්, තරිඳි කියනව වගෙ අනේ යන්න එපා භානු අයියේ කියල කියන්න තිබුණා. එත් එදා
දවසෙ සුන්දරම මතකය, මට විතරක් නෙවෙයි අපි හුඟක්
දෙනෙකුට ඉතිරි කරලා නුඹ යන්නම ගිහින්. උඹේ අර සුන්දර හිනාව විතරක් මතකයේ ඉතිරි
කරල. ඇත්තටම භානු අයියේ අර සිරිමල් කියනව වගේ “ මිනිසත්කමට නුඹ උපමාවක්”

මේ ගැන
ලියන්න හිටියෙ
හුඟ දොහකට
කලින්, ඒත්
අදට වැඩිය
හෙට හොඳවෙයි
කියල යටිහිත
නිතරෝම කියන
නිසා නොලිය, නොලිය
හිටියත් තව
දුරටත් එසේ
ඉන්න පුළුවන්
කමක් නෑ.
මම මේ
කතා කරන්නෙ
අපේ දරුවො
ගැන. රටේ
දරුවො ගැන, එහෙම
නැත්නම් මම
කැමතියි කියන්න
මගෙ සොහොයුරියන්
ගැනයි මම
මේ කතාව
කියන්නෙ කියලා.
අතීතයේ නම්
අපි දන්නව
ප්‍රේමවතී
මනම්පේරිලා ගැන, මතුගම
සමන් කුමාරලා
අහන්න ලැබුණෙ
හාවා හද
දකිනව වගේ
කලාතුරකින් කියල.
ඒ වුණත්
අද තත්ත්වෙ
ඊට හාත්පසින්
වෙනස්. අපි
නිකං මූනිච්චාවට
කතා කරන්න
ඕනි නෑ.
කෙලින් කතා
කළොත් ඔබත්
මාත් දන්නවා
වාර්තා වීම කෙසේ වෙතත්
ස්ත්‍රී දූෂණවත්
ළමා අපචාරවත්
මේ ධර්මද්වීපයේ
අඩුවක් නැතිව
සිදුවෙනවා කියලා.
අලුත්ම තත්ත්වය
ළමා මවුවරු.
කවුද මේවට
වගකියන්නෙ? කවුද
මේවට වගකිව
යුත්තෙ? මහ
විශාල ප්‍රශ්න
දෙකක් අපි
ඉස්සරහ තියෙනවා.
මට හිතෙන
හැටියට මේ
හැම දේටම
වග කියාගන්න
ඕනේ අපි, අම්මලා, තාත්තලා, සහෝදර
සහෝදරියො, ගුරු
දෙගුරු හැමෝම
මේ තත්ත්වයට
වග කිව
යුතුයි. අපි
කාටවත් මේ
තත්ත්වය මඟ
ඇරලා අනේ
අපි දන්නෙ
නෑ කියල
ඈත් වෙන්න
බෑ. අපි
දන්නවා ලිංගික
හා ප්රජනක
සෞඛ්‍ය ගැන
අපේ දරුවන්ට
තියෙන්නෙ අවම
අධ්‍යාපනයක්. වැඩිවියට
පත් දැරිවියකට
තමන්ගේ ශාරීරික
වෙනස්කම් ගැන
මනා අවබෝධයක්
ගුරු දෙගුරුන්ගෙන්
ගෙන් ලැබෙන්නේ
නෑ. අතීතයේ
මල්වර වන
දියණියකට ඇගේ
ශරීර සෞඛ්‍ය
ගැන හැසිරිය
යුතු ආකාරය
ගැන පවුලේ
වැඩිහිටි ගැහැනු
උදවිය ගෙන්
ගුරුහරුකම් රාශියක්
ලැබුණා. සමාජයට
ඇය රැකබලාගතයුතු
ගරු කටයුතු
කාන්තාවක් කියන
පණිවිඩේ ලැබුණා.
ආච්චි අම්මලා, ලොකු
අම්මලා, සමාජයේ
හැසිරිය යුතු
අයුරු කියාදුන්නා.
වර්තමානයේ දියණියක
වැඩිවිය පැමීණීම
පෞද්ගලිකත්වය තුළ
ආරක්ෂා කෙරුණත්
සමාජීය ජීවිතය
තුළ, සමාජිය විනය
පවත්වාගෙන යාම
පිළිබඳ සමාජානුයෝජනය
නිසි පරිදි
සිදුවෙනවාද කියන
දේ, බරපතළ ගැටලුවක්
බවට පත්වෙලා
තියෙනවා කියන
ඒක අපි
අපිටම ඒත්තු
ගන්වා ගන්න
වෙලා.
පුරවැසියන් ලෙස
අප මේ
සම්බන්ධව කළයුත්තේ
කුමක්ද? ක්‍රියාත්මක
විය යුත්තේ
කොතනින්ද යන්නට
පිළිතුරු සොයා
ගත යුතුයි.
ඊට පිළිතුරු
සොයාගත යුත්තේ
කෙසේද? උදවු
ඉල්ලා සිටින්නේ
කාගෙන්ද? ක්රියාත්මක වීම සිදු
කරන්නේ කොතනින්ද?
ගැටලුව නොදන්නාකම
නම්, පිළිතුර දැනුවත්
කිරීම නම්, තව
දුරටත් අපි
ඇස් කන්
පියා සිටින්නේ
ඇයි? දරුවන් දැනුවත්
කළ යුතු
වන්නේ ගුරුන්
දෙගුරුන් හරහා
නම් ඒ
පිළිබඳ අවබෝධයක්
ගුරු දෙගුරුන්ට
ලබාදීමයී යුගයේ
අත්යාවශ්යම
කාරණය වන්නේ.
ඒ සදහා
පෙර පාසල්
ගුරුවරුන්ගේ සිට
මවුපියන් දක්වා
දැනුම ගලා
යා යුතු
යාන්ත්‍රණයක් ගොඩනැඟිය
යුතුයි. තව
දුරටත් තම
තමන්ගේ පහසුව
ගැන සිතා
තම දූ
දරුවන් අධි
ආරක්ෂිත කලාප
වශයෙන් සැලකිය
හැකි තම
නිවෙස් තුළ
වුව අනාරක්ෂිත
අනාථයන් නොකිරීමට
වැඩිහිටියන් සවිඥානිකව
දැනුවත් කළ
යුතුයි.
එය ඒ
ආකාරයෙන් ඉටු
කිරීමට ගුරු
දෙගුරුන්ව දැනුම්වත්
කිරීමේ, ව්යායාමය
ඇරඹිය යුත්තේ
පාසලින් පමණක්
නොවේ. සෞඛ්‍ය කේෂත්‍රෙයේ මැදිහත්වීමත්
ඒ සඳහා
අත්තවශ්යමයි.දරුවන් ඇසුරේ
ඇති වන
නොදැනුවත්කමෙන්, තම
ආරක්ෂාව සලසාගත
නොහැකීවීම නිසාත්, නිසි
රැකවරණයක් සෙනෙහසක්
නොලැබීම නිසාත්
අසරණව අනාථව
ජීවිතය වරදවා ගන්නා
දූ දරුවන්
ගේ අවසානයේ
යොමු කෙරෙන්නේ
වෛද්‍ය
වෘත්තිකයන් වෙතයි.
ඒ අනුව
ළමා අපයෝජන
පිළිබඳ ව, ළමා
මවුවරුන් පිළිබඳ
ව, මානසික අසමතුලිතතාවන්ට
ගොදුරව උපදේශන
ප්‍රතිකාර
ලබාගත යුතු
දු දරුවන්
ගේ ගැටලු
පිළිබඳ ව
, එහි
හේතුඵල සම්බන්ධතා
පිළිබඳ සෑබෑ
අත්දැකීම් සම්භාරය
ඒකරාශි වන්නේ
විශේෂයෙන් මනෝ
විද්යාඥයන්
සහ ප්‍රජනක
හා නාරීවේදය
පිළිබඳ වෛද්‍යවරුන්
වෙතයි.
එදිනෙදා වෘත්තීය
ජීවිතයේ මුණ
ගැසෙන දරුවන්, මුහුණ
දෙන ගැටලු
සහ, ඉන් මිදීම
සඳහා දරුවන්
දැනුම්වත්කළ යුතු
කරුණු කාරණා
ගැන සමාජයීය
මඟපෙන්වීමක් කළ
හැකි ප්‍රමුඛයන්, ප්රජනක
හා ලිංගික
සෞඛ්‍ය පිළිබඳ
ව සමාජයීය
දැනුම්වත්භාවය ඇතිකිරීමේ
පුරෝගාමී මඟ
පෙන්වන්නන්, සම්පත්
දායකයන් අප
සොයා ගත
යුත්තේ සෞඛ්‍ය කේෂත්‍රයෙන්
යයි මා
පවසන්නේ ඉහත
හේතු සාධක
පදනම් කරගෙනයි.
තව දුටත්
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල
නිසා, නිවැරදි දැනුම
ලබා නොදීම
නිසා, දරුවන් අපයෝජනයට
ලක්වීම, ඝාතනය
වීම වළක්වා
ගැනීමට නීතී
රීති සම්පාදනය
කරනවාට වඩා.
අනෙකාට ඇඟිල්ල
දිගු කරනවාට
වඩා විද්‍යාත්මක
සන්දර්භයක් තුළ
දරුවන් දැනුම්වත්
කිරීමේ කාර්යය
සාධනයත් ඇතිවිය
යුතුයි.
ඊට සෞඛ්‍ය
අධ්යාපන කාර්යංශයේ
ප්රජනක
හා ලිංගික
සෞඛ්‍ය පිළිබඳ
ඒකකයේ අදාළ විෂය පිළිබඳ
මනා දැනුමක්
අවබෝධයක් ඇති
වෙද්යවරුන්ගේ
අදහස් උදහස්
හා යෝජනාවන්
ද ඔවුන්ගේ
අත්දැකීම් ද
සමාජීය දැනුම්වත්භාවයක්
උදෙසා සමාජීය
කතිකාවතකට එක්කර
ගැනීම පිළිබඳ
ව ජාතික
ප්‍රතිපත්තියක්
සකසා ගත
යුතුයි. ඒ
සඳහා බලධරයන්ගේ
ඇස් විවර
නොවන්නේ නම්, එක්
පාසලක , හෝ
පළාතක සිසුවියන්
43 දෙනෙක් පමණක්
නොව වැඩිවිය
පැමිණුන සිසු
දැරියන් සියල්ලන්
ම වුව
ළමා මවුවරුන්
වීමේ අවධානම
අප බාරගත
යුතු වෙමු.
රටක දරුවන්නේ
නැණස පෑදීම
ගුරුදෙගුරුන් සතු
වගකීමකී. එසේ
දරුවන් දැනුම්වත්
කිරීම උදෙසා
වැඩිහිටියන් දැනුම්වත්
කිරීම ආරම්භය
කෙසේ සිදුවිය
යුතුදැයි මා
ඔබෙන් විමසමි.
රජයක්, පාසලක්
අධ්යාපන
අමාත්යංශය
එය ඉටුකළ
යුතුයැයි අදහාගෙන
සිටීම කෙතරම්
නම් ස්ථානෝචිතදැයි
මා ඔබෙන්
විමසමි. අප
තනි තනිව
හෝ වැඩ
පටන්ගත් යුතුව
තිබේ. ඔබේ, ගමේ
පාසලේ, පන්සලේ
රැකියා ස්ථානයේ
මාසික හමුව, දැනුම්වත්
කිරීමේ සම්මන්ත්රණයක්
කරගත හැකි
නම්, ඔබට මහජන
දේශනයක් සුදානම්
කරගත හැකි
නම් එය
වර්තමානය තුළ
රෝගී සායනයක්, ලේ
දන්දීමේ කඳවුරක්, සුහද
හමුවක් පවත්වනවාට
වඩා වැඩි
වැදගත් කමක්
ගනු ඇතැයි
ඉඳුරා පවසමි.
හෙට දින
විනාශ වන, මිලින
වන මල්
කැකුල, ඔබේ
විය හැකියි.
මගේ විය
හැකියි. ඒ
අපරාධකරුවන්ට මරණිය
දඬුවම දෙන්න
යයි ඉල්ලා
සිටිනවාට වඩා
එවන් තත්ත්වයන්
ඇතිවීම වැළැක්වීම
පිණිස අපේ
දරුවන් ආරක්ෂා
කර ගැනීම
උදෙසා තනි
තනිව හෝ
සාමුහිකව හෝ
ක්රියාත්මක වන්නැයි
මා ඔබෙන්
ඉල්ලා සිටිමි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ
වගකිව යුත්තන්ගේ
අවධානය පිණිසත්, පුරවැසියන්ගේ
දැනුම්වත් භාවය
පිණිසත්ය.

මම හිටියෙ බුලත්කොහුපිටිය බස් එකේ, අවිස්සාවේල්ලෙ
ඉදලා පැයකින් බුලත් කොහුපිටියට යන්න පුළුවන් වුණත් බස් එකේ ගමනට නම් පැය එක හමාරක්
දෙකක් නැතිවම බෑ. කොළඹ කොන්ක්‍රීට් වනාන්නතරේ වගේ නැතිව මඟ දෙපස කොළපාට ඉතිරිලා
තියෙන ඒ 07 මාර්ගය ඇහැට සිහිලක් නිසා ඉබි ගමන ගැන නොහිත
පරිසරය රස විඳිමින් යනඑක වඩා හොඳයි කියල මට හිතුණා. බස්එක පිරෙන්න නැතත් සාමාන්‍ය
තරමක සෙනඟක් හිටියා.
මේ වෙද්දි බස් එක අවිස්සාවේල්ලෙන් ඉදලා කිලෝ
මීටර් 14 විතර පහුකරලා කරවනැල්ලට කිට්ටුවෙමින් හිටියේ. එක
පාරට ම බස්රියේ හිටි මැදි වියේ අම්මා කෙනෙක් තමන් එක්ක හිටිය තවත් කාන්තාවකට යමක්
පෙන්නලා “අන්න අන්න කල්යාණි ගංගා ඇවිත්” කිව්වා.
මම හිටියේ ඒ කාන්තාව හිටි ආසනේට පසු ආසනේ නිසා මගේ අවධානෙත් ඒ දිහාටයි යොමු වුණේ.
බලන කොට “කරවනැල්ල”
නාම පුවරුව අසල විදේශිය පිරිසක් ඡායාරෑප ගනිමින්
හිටියෙ.
අද කරවැනැල්ලෙ ළමා වාට්ටුවට තෑගි ලැබෙන්න ඇති.
කල්යාණි හැමදාම එනකොට ඉස්පිරිතාලෙ ළමයින්ට තෑගි ගේනවා. ඒ කාන්තාව ආයිත් කියන්න
පටන් ගත්තා. මොකක්ද මේ කතාව කියල මටත් හරි ප්‍රහේළිකාවක්. අන්තිමට මට උත්තරේ
ලැබුණා. ඒ බස් එකෙන් නෙමෙයි, කරවනැල්ල රෝහලේ සේවය කරලා විශ්‍රාමගත්ත
සාත්තුසේවිකාවකගෙන්.
“අවුරුද්ද මතක නෑ, හැබැයි මාර්තු මාසෙ දවසක්. එතකොට ඔය දැන් තියෙන
මහ පාලම නෙවෙයි පැරැණි පාලම තිබුණෙ. ගඟ දෙපැත්තෙම ඉලුක් මාන හෙම ඕසෙට වැවිල
තිබුණා. උදේ පාන්දරම ආරංචියක් ආව ගග අයිනෙ ජීවත් වෙච්ච මනුස්සයකුට ගඟට විසි කරපු
ළමයෙක් හම්බවෙලා කියලා. එතකොට මම හිටයෙ ඕපීඩී එකේ, අනේ ඉතින් අපිත් බලන්න ගියා. පොඩි දරුවෙක්නෙ, බැලින්නම්
අංග සම්පූර්ණව හැදිච්ච ගෑනු දැරිවියක්. වයස යන්තම් දවසක් දෙකක් ඇති. දරුවගේ ඇග පුරාම
ඉළුක් කොල. ඇග පතත් සීරිලා හොදටෝ ම, ඉතින් මේ කිරිකැටියා ඉස්පිරිතාලෙට ඇතුළු කරගන්න
නමක් එපැයි. කවුරු හරි නමක් දාන්න කියල කියද්දි මම කටට ආපු නමක් කීවා “ කල්යාණී
ගංගා ඉළුක්තැන්න” එවෙලෙ එතන හිටි හැමෝම ඒ නමට කැමති වුණා. බොහොම
ගම්භීර වාසගමක් වගේ කියලත් කතා වුණා. එහෙමයි කල්යාණී ගංගා ට නම ලැබුණේ. ”
“ඉතිං ඒ නම ලැබුණු හැටිනේ, කොහොමද
කල්යාණි ගංගා ගඟට ලැබුණේ” මම ඇගෙන් ඇහුවා. “කල්යාණිගෙ අම්මට කල්යාණී ලැබිලා තියෙන්නෙත් අපේ
රෝහලේ දී ම තමයි. නමුත් අවාසනාවකට මේ දරුවගේ අම්මා විවාහක කාන්තාවක් නෙවෙයි.
කෙනෙක් ඈට කියල තිබුණා දරුව දාලා ආවොත් ඈව විවාහ කරගන්නවා කියල. රෝහලින් ටිකට්
කපාගෙන ගෙදර යන ගමන් මේ කාන්තාව දරුවව කාටත් හොරෙන් ගඟට විසිකරලා තිබුණා. ඒ දරුවගේ
වාසනාවට ගඟට නොවැටී ඉළුක් ගාලක හිරවෙලා. පහුවදා උදේ හීන් පොදේ තෙමෙද්දි අඬනකොට උදේ
ම ගඟට මූණ හෝදන්න ගිය ගමේ කෙනෙක් තමයි දරුවව රෝහලට ගෙනාවේ. අන්තිමට දරුවගේ අම්මව හොයන්න පොලීසිය ඒ සවස් දෙක
තුනේ බබාලා ඉපුදුණු හැම අම්මා කෙනෙක්ගෙම ගෙදරට ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ
අම්මව පොලීසියෙන් කොටුකර ගත්තා. ඊටපස්සෙ වෙච්ච දෙයක් නම් අපි දන්නෙ නෑ. හැබැයි
කල්යාණි ගංගාව ඕස්ට්‍රේලියාවෙ පවුලක් අරන් හදාගන්න ගෙනිච්ච කියලා ආරංචි වුණා. ඒ
දැරිවි දැන් ඉංජිනේරුවෙක්ලු. ලංකාවට කීප සැරයක් ආවා ඒ අම්මා තාත්තා එක්ක. ඒ ආපු
හැම දාම ඉස්පිරිතාලෙට ඇවිල්ල එයා හිටි වාට්ටුවට උදවු උපකාර කරල යනවා. ” ඇය
මාත් එක්ක කීවා. මේ සිද්ධිය මට අමතක වෙලා තිබිල ආයේ මතක් වුණේ ඊයේ පෙරේදා දවසක බ්‍රිතාන්‍ය
ජාතික දියණියක් තමන්ගෙ අම්මව සොයා දෙන්න කියල පත්තරේකට යොමු කරල තිබුණු ලිපියක්
දැකීමෙන්.
කවුරු මොනවා කිව්වත් ලේවල බැඳිම වතුරවලට වඩා ඝනයි
කියනවනේ, ලෝකේ කොහේ හිටියත් ඕනම කෙනකුට තමන් වැදු අම්මව
දකින්න, ඇයව වැළදගන්න තියෙන උවමනාව නැති කරන්න කාටවත් ම
බෑ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වුණත් නොකියා සිටින්න බැරි කාරණාවක් තියෙනවා.
තමන්ගෙ කුසින් බිහි වෙන්න ඉන්න දරුවන්ව ඉපදෙන්න කලින් ඉපදීමේ හිමිකම නැති කරනවාට
වඩා, ඉපුදණු දරුවන් බල්ලන් බළලුන් වගේ කැලේට විසි
කරණවාට වඩා, ඒ දරැවන්ගෙ ජීවිතේ උදුරගන්නවට වඩා , තමන්ගෙ
නොහැකියාව දරාගෙන දරැවන්ට ආදරේ කරන කෙනෙක්ට හදාවඩා ගන්න දෙන එක උතුම් දෙයක්. සමහර
විට ලෝකයා කියාවි ඒ අම්මලා , තාත්තලා දරුවන් විකුණන් කෑව කියලත්, ජීවීතේ
විඳින්න පුළුවන් උපරිම අපහාසයත් ඒ අම්මලා විඳීවි. නමුත් ඒ දරුවන්ට දීපු ජීවිතය
උදුරා නොගැනීමේ සතුට ඉතිරි වේවි.
ඒ එක්කම මේ කතාවට අතුරු කතාවක් එකතු කරන්නත් ඕනේ.
අපි දන්නවා තමන්ගෙ දරුවව හදාගන්න බැරිකම නිසාම ඒ දරුව තමන්ගෙ රටේම හරි වෙනත් රටක
හරි යුවලකට හදාගන්න දෙන්නෙ උසාවි මාර්ගයෙන්. නීත්‍යානුකූලව මේ කටයුතු සිද්ධ වුණත්
හුඟක් අම්මල තමන්ගෙ අනන්‍යතාවය සඟවනවා. නැවත තමන් සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය නිසා. ඒ සිදුවීමෙන් කාලෙකට පස්සෙ ඔවුන් නැවත විවාහ
වෙන්න පුළුවන් දරුමල්ලො ලැබෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවක නොහිතූ නොපැතූ මොහොතක මේ දරුවන්ගේ
ආගමනය සිදු වුණොත් ඔවුනගේ ජීවිත උඩියටිකුරු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. වසර
කිපයකට කලින් වයඹ ප්‍රදේශයේ එහෙම සිදුවීමක් වාර්තා වී තිබුණා.
වයස 16දී නොදැනුවත්කම නිසා මවක් වූ තරුණියක්, තම
දියණිය විදේශිය යුවලකට හදාවඩා ගැනීමට දී තිබුණා. මේ සිදුවීම නිසා ම ගම රටත් අතැර
වෙනත් පළාතක පදිංචියට ගිය ඇය එයින් අවුරුදු 18කට පසු සිය මවුපියන්ගේ ඉල්ලීමට විවාහවීමට
සූදානමින් සිටිය දී සංචාරක මඟපෙන්වන්නෙක් පැමිණ ඇගේ දියණිය ඇය සොයන බව දන්වා
සිටියා. මේ සිදුවීම සිදුවූ අාකාරයට අනුව දෙවන වරටත් ඇයට ඇගේ ජීවිතයේ මහා
ඛේදවාචකයක් අත් විඳින්න සිදුවුණා.
ඉතින් ඔබටත් සමහර විට අවස්ථාවක් ලැබේවි මවකට
දියණිකට උදවු උපකාර කරන්න. හැබැයි මතක තබාගත යුතුයි ඔබ, රැකිය
යුතු බව ඔවුනගේ අනන්‍යතාවය, ඔවුනගේ ජීවිතය, මන්ද ජීවිතයක් ඇතිකිරීමේත් නැතිකිරිමේත් හැකියාව
පෞද්ගලිකත්වය රැකගැනීම කියන කාරණය තුළ ගැබ්ව පවතින බව ඔබටත් මටත් ඇයටත් කාටත් පොදු
නිසා.
මිහිරි මතක
24 Apr 2013 3:37 AM (12 years ago)

අවුරුද්දට සතියකට දෙකකකට කලින් දවසක හැන්දෑවක හතට
අටට විතර මෝටර් බයිසිකලයක් ඇවිල්ලා අපේ ගේ දෙරකඩ නතර කළා. හිස් වැස්ම ගලවලා
බයිසිකලේ එල්ලන ගමන් කිරි මාමා ඉන්නවද කියල අහගෙනම තරුණයෙක් ගෙට ගොඩවුණා. පාර
පෙන්නන්න ආපු අනිත් පොඩ්ඩා නම් අපි දන්න අඳුනන දරුවෙක්. 'මට
එකපාරට අඳුනන්න බෑ' කියල තාත්තා කියද්දිම පාර පෙන්නන්න ආපු පොඩ්ඩව
අඳුනගත්ත නිසා ආව කෙනා අපි අඳුන ගත්තා.
අවුරුදු දහතුනකට පස්සෙ අතීත මතකයේ සුවඳ අරන් සංජු
අපේ ගෙදර ඇවිත්. සංජුගෙ ගම ගල්ගමුවේ. එයාගෙ පුංචි අම්මා විවාහයත් එක්ක අපේ ගමේ
පදිංචියට එනකොට ඒ එක්ක සංජුත් ආවා. එතකොට සංජුට වයස අවුරුදු තුනක් විතර ඇති. අම්මට
තව මල්ලියෙක් හිටිය හින්දත්, අම්මට වඩා පුංචි අම්මට එකතු හින්දත් ගල්ගමුව ගෙදර
කට්ටිය අත ඇරලා ඔරුවලට එන එක සංජුට මහ ලොකුවට දැනුණෙ නෑ.
පුංචි අම්මගේ ගේ මහ පාර අයිනෙ නිසා එළියට පහළියට
බහින්න ගල්ගමුවෙ වගේ ඉඩක් කඩක් නොතිබුණත්, සංජු හරිම කැමැත්තෙන් ආදරෙන් පුංචිලෑ ගෙදර නතර
වුණා. සංජුගෙ බාප්පත් ආච්චි අම්මත් අපේ පවුලෙ ළඟ හිතවත්තු නිසා කිරි අරගෙන යන එන
ගමන්, කඩේට, ගම්මානෙට යන එන ගමන්, හරක්
දිගේලි කරන්න වෙලට යන එන ගමන් දවසකට වරක් වත් සංජුලගෙ පුංචිලගෙ ගෙදරට ගොඩවෙන එක
අපේ තාත්තගෙ සිරිතක් වෙලා තිබුණා. අද වගේ ම ඒ දවස්වලත් අපේ තාත්තට තිබුණෙ තැපැල්
නයින්ටියක්. බයිසිකලේ ඉස්සරහ පුංචියට හදපු දැල් කූඩයක් තිබුණා. ගල්ගමුවෙන් ආපු මේ
පොඩ්ඩා, කිරි මාමේ කියල බොහොම හෘදයාංගම ඇමතීමක් එක්කම
තාත්තව යාළු කරගත්තා. එදා ඉදන් සංජු සතියට කීප දොහක් අපේ ගෙදර ආවේ තැපැල්
නයින්ටියෙ දැල් කුඩේට බැහැලා. ඒ ආපු හැමදාවක ම වෙලේ යන්න, හරක්
පැටවුන්ට කිරි දීලා උන් බැඳල දාන්න, ඇළේ බැහැලා සත්තු නාවන්න සංජු සැදී පැහැදී
හිටියා. හරියට ඉදි කට්ටයි නූලයි වගේ සංජු කිරි මාමා පස්සෙන් වැටිච්ච ගමන්මයි, අපිත්
තාත්තා කොහේ හරි ගිහින් එනකොට බයිසිකලේ සද්දෙට සංජු එනවද කියල විපරමෙන් හිටියෙ.
සංජු ආවොත් එයාටත් බොන්න දෙන්න එක්කයි ගෙදර එළකිරි ටික රත්වුණෙත්.
අවුරුදු එකහමාරක් විතර අපේ පවුලෙ යාවජීව
සාමාජිකයකු වුණු සංජුව බලන්න ආපු එයාගේ අම්මා මොන්ටිසෝරි යන්න, ඉස්කෝලෙ
යන්න ඕනේ කියලා සංජුව ගමට එක්කරගෙන ගියා. ඒ වෙද්දි පුංචි අම්මටත් දරුවකු ලැබෙන්න
හිටියෙ. එදා ඉදලා මෑත අපේ ගෙදරට එනකම්ම සංජු අපේ ඇස් මානෙන් ඈත් වුණත් හිතේ
මතකයෙන් නම් බිඳුවක් වත් ඈත්වුණේ නම් නෑ.
සංජු ඇවිත් ගියාට පස්සෙ අපේ අතීත මතක අපේ
ජීවිතවලට, ලේවලට කොච්චර කා වැදිලා තියෙනවද කියලා මට හිතුණා.
මටත් මගේ පුංචි කාලේ යාළුවන්ව මතක් වුණා. ආතර් මාමා ඉන් එක්කෙනෙක්. පානදුරේ ගඟුල
ගමේ හිටියෙ, තාත්ත එක්ක වානේ සංස්ථාවෙ වැඩ කරද්දි නිතර අපේ
ගෙදර එනවා. තාමත් ඉඳහිටක හරි පොල් පැණි එක්ක පාන් කන්න ලැබුණොත් අනිවාර්යයෙන් ම
ආතර් මාමා මතක් වෙනවා. අසූ තුනෙ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ දවසක කරුණාරත්ත අබේසේකර
කියන පුංචි අපේ ගුවන්විදුලි ලෝකෙ හිටි සද්ධන්තයා මියගියා කියන පණිවිඩේ අරගෙන ආවෙත්
ආතර් මාමා.
ලයනල් බාප්පා හිටියෙ රත්නපුරේ බටුගෙදර, මත්පැන්
එක්ක බොහොම ළඟ සම්බන්ධ කමක් තිබුණත් ඒ හිතේ තිබුණු ආදරේ සෙනෙහස ගැන කියන්න ඒ
දවස්වල පුංචි දරුවෙක් වුණු මට අදටත් වචන හොයා ගන්න බෑ. නෝර්ත්, ඊස්ට්, වෙස්ට්, සවුත්
කියන ඉංග්‍රීසී වචන හතරෙ මුල් අකුරු එකතු වෙලා සිව් දිගින් කියන අර්ථයෙන් නිවුස්
කියන වචනෙ හැදුණෙ කියල ලයනල් බාප්ප අයියටයි මටයි කියල දුන්නෙ අපිව වෙසක් බලන්න
ගිහින් එන වෙලාවක බත් දන්සලක පෝලිමක ඉදිද්දි. සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවැනි බසට
ලයිට් කණුවක ලකුණක් එකතුවෙද්දි ලයනල් බාප්පා හිටිය නම් කියල මට ආයෙත් මතක් වුණා.
පනාගොඩ ටීචර්,
අතුරුගිරියෙ ඉස්කෝලෙට පළමු පත්වීම ලැබිලා, කහපාට
මල් තියෙන සාරියක් ඇඳන් ආපු හීන්දෑරී ගුරුතුමී. පළවෙනි පාඩම විදියට අපිට ඉගැන්නුවෙ
ලිපියක් ලියන්න. මතක විදියට එයාගෙ ගෙදර නම “රම්යසෙවන”
මොකද සමහර ගෙවල්වලට අංකයක් වෙනුවට නමක් තියෙනවා
කියන්න එයා ඒ උදාහරණෙ ගත්තා. අසුඅට අවුරුද්දෙ අපි අතුරුගිරිය ඉස්කෝලෙන් අස්වෙන්න
කලින් මාරුවීමක් ලැබිලා ගිය ඈ, බෝමිරිය මහා විදුහලේ උගන්වනවා කියල ආරංචියක්
තිබුණත් තාම හරි තොරතුරක් හොයා ගන්න බැරිවුණා.
මිහිරි මතක සුවඳ හෘදයාංගම බැදීම්වල
කැටිවෙලා තියෙන රටාව අඳුන ගන්න ලෝකෙ කාටවත්ම බැරිව ඇති කියලා මට හිතෙන්නෙ මේ වගේ මතක, දියයට එබුණු රබර් බෝල වගේ එකපාර උඩමතුවෙන කොට.
දකින්න නොලැබුණත්, කටහඬ නොඇසුණත් මේ පුංචි රටේ කොතනක හරි ජීවත්වන ඒ
ආදරණීයන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. අතීත මතකයක මිහිර එක්කරගෙන මට වගේම ඔබටත් මිහිරි
මතක ඇති සමීපතමයන් ගැන. රැදෙන්න සොඳුරු මතකයක මොහොතක්. සතුටක් දැනේවි ඔබට.
ආච්චිලා සීයලා
19 Apr 2013 9:44 AM (12 years ago)

පහුගිය දවසක මන්මිතාගෙ මොන්ටිසෝරියෙ හරි අපූරු හමුවක් සුදානම් කරලා තිබුණා. මාර්තු 08 වෙනිද ජාත්‍යන්තර කාන්තා දිනේට කලින් දවස, ඒ කියන්නෙ මාර්තු 07, ආච්චි අම්මලාගෙ දවස විදියට නම් කරලා තිබුණා. ඉතින් ඊට සති දෙකකට විතර කලින් ඒ සඳහා ආච්චි අම්මලාට ඇරයුම් පතකුත්, පැලද ගෙනයන්න ලාංඡන දෙකකුත් එවලා තිබුණ. ආච්චි අම්මලා දෙන්නත් හරිම සතුටින් මිණිපිරීගෙ පාසලට ගියා.
පැමිණ සිටි ආච්චි අම්මලා පිළිඅරගෙන අසුන් ගැන්නුවට පස්සෙ විදුහල්පතිනිය පුංචි කතාවක් කළා, ඇයි අපි ආච්චි අම්මලගෙ දිනයක් පවත්වන්න තීරණය කරේ කියලා. ළදරු පාසලේ බොහෝ පුංචි පැංචියන් ආච්චිලා සීයල එක්ක හුඟක් සමීප, බොහෝ වෙලාවට දරුවන් පාසලට රැගෙන එන්නෙ , නැවත කැදවාගෙන යන්නෙ ආච්චිලා සීයලා බව ඇය නිරීක්ෂණය කරලා තිබුණ. ඒ එක්කම මේ පුංචි සිඟිත්තො හුඟ දෙනෙක්ගෙ හොඳම යාළුවා වෙන්නෙත් ආච්චිලා සීයලා බව දැනගන්න ලැබුණා.
පුංචි වේදිකාවේ ඉදන් ලස්සන ගීතයක් දෙකක් කියල කියලා ආච්චි අම්මලා සන්තෝස කරද්දි හැම පුංචි දරුවෙක්ම පා ඇඟිලි තුඩුවලින් ඉස්සි ඉස්සි තම තමන්ගෙ ආච්චි අම්මලා ඉන්නවද කියලා බැලුවා. උත්සවේ අවසන් වුණේ ආපු හැම ආච්චි අම්මෙක්ටම තම තමන්ගෙ මුනුපුරු මිනිබිරියො විසින් ලස්සනට පාට කරලා පුංචි පෝච්චියක හිටවපු මල් ගහක් තෑගි කරලා, ආච්චි අම්මලා එක්ක ඡායාරූපයකට පෙනී හිටීමෙන් පස්සෙ, ඒ අතර ආච්චි අම්මලා ආපහු යද්දි අනේ යන්න එපා කියල හඬා වැටුණු සිඟිත්තනුත් හිටියා. ඒ කතාව එතනින් ඉවරයි.
ඊට පහුවදා ජාත්‍යන්තර කාන්තා දිනේ දවසෙ තවත් වැඩ සටහනක් තිබුණා, රාජගිරිය බණ්ඩාරනායකපුරේ දි. ඒ වැඩසටහනේ නිමිත්ත වුණෙත් කාන්තාව. එතනදි එක ආච්චි අම්මා කෙනෙක් මහ විශාල කතාවක් වචනෙන් දෙකෙන් කියලා තිබුණා. අනේ මේ නාකි අපි ගැන බලන්න කවුරුත් නැහැනෙ. මම දරුවො නව දෙනෙක් බලාගන්න ඕනි. කවුද ඒ ගැන කතාකරන්නෙ, අපි ගැන හොයල බලන්නේ. වෙන දෙයක් නෙවෙයි, පන්සලකට යන්න, අසනීපෙකට බෙහෙතක් ගන්න, යාළුවෙක් බලන්න. මරණෙකට මඟුලකට යන්න වෙලාවක් නෑ. අපි හිරකාරයො තත්වෙට වැටිලා.
සිද්ධිය ඇහුවම හරිම ශෝචනීයයි. ඒ ආච්චි අම්මට තමන්ගෙ දරුවන්ගෙ දරුවො විතරක් නෙවෙයි, මුනුපුරු මිනිබිරියන්ගෙ දරුවනුත් බලාකියාගන්න වෙලා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ළමයි නව දෙනෙක්. කාරණේ හොයලා බැලුවම මේ ආච්චි අම්මා දරුවන් බලාගැනීමෙන් අසීමාන්තික ලෙස වෙහෙසට පත්වෙලා. මේ දරුපැටවුන්ගෙ අම්මලා විදේශ ගතවෙලා. වැඩේ කියන්නෙ අවුරුද්දකට දෙකකට නෙවෙයිනේ මේ අම්මලා රට ගිහින් ඉන්නෙ, ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සෙ විදේශගතවෙලා ඉන්නෙ. අවුරුදු දෙකකට, තුනකට වරක් මාසෙකට දෙකකට නිවාඩුවකට ඇවිල්ලා යනවා. සාමාන්‍ය ව්‍යවහාරෙදි නම් “නාකි” කියන්නෙ “ නොහැකි ” කියන අර්ථයෙන්නෙ.
නමුත් මේ ආච්චි අම්මලට තාම වැඩ කරන්න පුළුවන් කියන සාධකේ හින්ද තම තමන්ගෙ පුද්ගලික සමාජීය ජීවිතේ නැතිවෙලා තිබුණ. මොකද දූලාගෙ ළමයි බලන්න ඕනේ, ලේලිගෙ ළමයි බලන්නත් ඕනේ. මිනිබිරීගෙ ළමයි බලන්නත් ඕනේ, කෙලවරක් නෑ. “ ආච්චි අම්මා” “ කිරි අම්මා” තමයි දැන් මේ දරුවො ඔක්කොගෙම අම්මා. ගෙදර පුංචි ළමා නිවාසයක් වගේ. එක්කෙනෙක්ගෙ දරුවො බලන්න බෑ කීවොත්, අනිත් අයගෙ මූණු කොරොස් වෙනවා.
“අම්මට අපි සල්ලි එවනවා. අඳින්න පලඳින්න දෙනවා. රයිස් කුකර් එක තියෙනවා, ගෑස් ටික තියෙනවා, වොෂින් මැෂින් එක තියෙනවා, උයලා පිහලා දීලා යන්න කෙනෙක් එනවා. ඔයාට වද වෙන්න දෙයක් නෑ. ඉස්සර වගේ පාරේ වතුර ලයින් එකට යන්න ඕනෙ නෑ. වත්තෙ වැසිකිළියට යන්න ඕනේ නෑ. හැමදේම ගේ ඇතුළෙ තියනවා. අම්මට තියෙන්නෙ දරුවො ටික බලාගෙන ඉන්න විතරයි. ” දූලගෙ, ලේලිලගෙ, මිනිබිරියන්ගෙ ජීවිතවලට තමන්ගෙ දරුවන්ගෙ ජීවිත ගැන තියෙන එකම සුරක්ෂිතතාවය, එකම සැනසීම, මගේ දරුවන්ව මගේ අම්මා හොඳට බලාගන්නවා. අපේ නැන්දම්මා, අපේ ආච්චි අම්මා, අපේ දරුවන්ව හොඳට බලාගන්නවා” කියන හැඟීම විතරමයි. ඒ කතාවත් එතනින් ඉවර කරමුකො.
අපි කවදාවත් ගමෙන් නගරෙට ඇවිල්ලා, එහෙම නැත්නම් පුතාගෙ දුවගෙ ගෙදරට ඇවිල්ල දරුමුනුපුරන්ව බලාගන්න අපේ ආච්චි අම්මලගෙ සීයලගේ සතුට ගැන හිතල තියෙනවද කියල, මම මගෙන්ම අහන ප්‍රශ්නය ඔබෙනුත් අහන්න හිතුණා. ආච්චි අම්මලට, සීයලට තමන්ගෙ ජීවිතේ සැදෑ සමය ගෙවද්දි දරු මුනුපුරෝ කියන්නෙ ලෝකයක්, දවසකට වචන දහයක් පහළොවක් කතා බහ කරන්න විවේකයක් නැති දරුවන්ගෙ, දරුපැටව් එක්ක ගත කරන ජීවිතේ අපේ අම්මලට වෙහෙසක් නොවුණත් ඒ අයට සමාජ ජීවිතයක් තියෙනවා කියල අපිට අමතක කරන්න පුළුවන්ද?
ගමේ ඉන්නැද්දි, ඉදහිටක අහල පහළ ගෙදරකට ගිහිල්ල බුලත් විටක් කාලා, ආ ගිය කතාවක යෙදිල ආපු, එකට පන්සලට සිල් ගන්න ගිය, ඉස්පිරිතාලෙට බේත් ගන්න ගිය , පැන්ෂන් එක ගන්න ගිය, නඩ පිටින් වට වන්දනාවේ ගිය, ඒත් නැත්නම් පුංචි කාලෙ එකට ඉස්කොලෙ ගිය යාළු මිත්‍රයො ඉඳහිටක දකින්න අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා කැමති ඇති.
අලුත් අවුරුද්දට අම්මලා, තාත්තලාට, ආච්චිලා, සීයලාට බුලත් හුරුල්ලක් දීල ආසිරි පතලා විතරක් මදි කියලයි මට හිතෙන්නෙ. පුළුවන්කමක් තියෙනවා නම් අපේ ගෙදරට ඇවිත් අපේ ළමයි බලාගන්න, අපේ අම්මලා තාත්තලා, ආච්චිලා, සීයලා, එක්කම ගමට ගිහින්, මහ ගෙදරට ගිහින් ඒ අවට ඉන්න ඒ අයගෙ යාළු මිත්‍රයො බලලා එන්න ඔබට පුළුවන් නම් මෙදා අවුරුද්ද ඒ අයගෙ හිත් සතුටින් පිරේවි.
ජීවිත කැන්වසය
11 Apr 2013 5:59 PM (12 years ago)

මොහොතින් මොහොත
අතීතයක් වන කැන්වසයක
සිතුවම් කළ ජීවිතය දෙස
මොහොතක් හැරී බලමි....
ජීවිතය විවිධ වර්ණයෙන්
නෙක පින්සල් පහරින්
හැඩව ඇත,
උණුසුම්, සිහිල් මෙන්ම
අදූරු පැහැය ද එහි අන්තර්ගතය...
තනිව සමරන අවසන් උපන්දිනය දා
ජීවිතයට ජීවය දුන් අම්මාත් තාත්තාත්
එක්ව උදරය බෙදාගත්
අයියාත්, මල්ලීත්, නංගීත්
තිස් හත් වසක ජීවිතය බෙදාගත් සියලු දෙනාත්
සිහපත් කරමි..
ජීවිතයේ නවමු ඇරඹුම දෙස බලා හිදිමි....
ඔබ එ¢මඟ පියමැන එනු පෙනේ...
ඉදින්...
විසල් සෙනෙහසක
දිය උල්පත් මතුවන යුරැ බලා හිදිමි!!!
12- 04- 2013
මගේ ආදරේ...
8 Apr 2013 6:12 PM (12 years ago)

මොකක්ද මේ ආදරය කියන්නේ, මම හිතන්නේ ඒකට නිර්වචන දෙන්න බෑ. ඔබ හැමදෙනාට ම ඒ ගැන විවිධ
නිර්වචන තියෙන්න පුළුවන්. ඔව් ලෝකය පැවතෙන්නේ ආදරය නිසා. ඒත්
ඒක ඇතුවත් බැරි, නැතිවත් බැරි තවත් එක දෙයක් විතරයි. වෙලාවකට මට හිතෙනවා
ආදරය කියන්නේ විඳවීමක් කියලා. මොකද ආදරය විඳිනවා වෙනුවට විඳවන අය වැඩියි. ඒක ලබා ගන්න විදියයි, බෙදාගන්න විදියයි හරිම වෙනස්. ඒ කියන්නේ අපි ආදරය කරන විදියයි ආදරය බලාපොරොත්තු වෙන
විදියයි වගේ ම ඒ ආදරය ලබා ගත්තට පස්සේ ඒක රැක ගැනීමයි ආදරය දරා ගැනීමයි පරස්පර විරෝධී වෙනවා.
පුංචි කාලයේ ගෙදර වැලි මිදුලට වෙලා
තාත්තා ගෙදර එනකම් බලන් හිටි කාලේ හරිම සුන්දරයි. ඒ කාලේ මට ආදරය ගැන ලෝබකමක් තිබුණා. මොකද අම්මගේ ආදරය
අවධානය යොමු වෙන්නේ අයියටයි මටයි දෙන්නටම වැඩිය මල්ලිට. ඉතින් එතකොට පුංචි දරුවා
කාලේ ම ආදරය වෙනුවෙන් ලෝබකමක් අයිතිකර ගැනීමේ උවමනාවක් මට තිබුණා. සමහර වෙලාවට
මවුපියන් මට වඩා අනෙකාට ආදරය කරනවා කියල හිතෙන්නෙ ඒ අය අපිත් එක්ක කරන ගනුදෙනුවට
අදාළ වටපිටාව එක්ක. ස්ත්‍රීපුරුෂභාවය එතනදි වැදගත් තැනක් අත්පත් කරගන්නවා කියල
ආපස්සට හැරිල බලද්දි හොඳින් ම දැනෙනවා. ගැහැනුකම සමහර අවස්ථාවන්වල දී බෙදීම් ඇති
කරනවා. ඉඳ හිට දවසක තාත්තා අයියව හෝ මල්ලිව වානේ සංස්ථාවට එක්ක ගියා. ඉතින් පාසල්
යනකොට චීන මහා ප්‍රකාරෙ වගේ පේන තාත්තගෙ රාජධානිය බලන්න යන්න මටත් ආසාවක් ඇතිවෙන
එක අරුමයක් නෙවෙයිනෙ. නෑ නෑ ගෑනු ළමයි ඕවයෙ යන්නෙ නෑ කියල අම්මා වතාවක් සැර
දැම්මයින් පස්සෙ ඒ කාරණාව ලත් තැනම ලොප් වුණා විතරක් නෙවෙයි අනේ මාව එක්ක ගියෙ
නෑනේ කියන නෝක්කාඩුව හිතේ පැලපදියම් වුණා. සමහර අවස්ථාවවල දී අයියලා මල්ලිලා එක්ක
පුංචි පහේ රන්ඩු සරුවල් ඇතිවෙද්දි ඒ නෝක්කාඩුත් ඒ පිටින් ගිය වෙලාවල් තිබුණා.
නමුත් ඒ හැඟීම අද මගෙන් ඇත්වෙලා. දැන්
මම ලෝකෙට ම ආදරය කරනවා. ඒ ආදරය මොන විදියට ලෝකය දැක්කත්. මං හිතන්නේ ඒක අපි හැමෝට
ම පොදු දෙයක්. දැන් මට හිතෙන්නෙ ආදරය කියන්නේ නිර්වචනයක් දෙන්න බැරි දෙයක්.
මොනරාගල ඉඳන් කොළඹ එද්දි බස්රියේ අත්දැකීම් මා එක්ක බෙදාගත් මහේෂි හරි අපූරු
කතාවක් කිව්වා. “අක්කේ අද බස්එකට අහිකුණ්ඨික පවුලක්
නැග්ගා, අත දරුවකුත් එක්ක, කවුරුවත් සීට් එකක් දුන්නෙ නෑ. මම ඒ
දරුවව අරගත්තා. මගේ උකුළෙ එයා නිදාගත්තා තණමල්විලින් බහිනකම්. බස්එකේ මිනිස්සු මා
දිහා බැලුවෙත් අමුතු සතෙක් දිහා බලනවා වගේ” මට සතුටක් දැනුණා, මහේෂාට
දිරියක් තිබුණු එකගැන ඒ දරු පැටියා දරු පැටියෙක් කියන හැඟීම දනවන්න. මොකද ඒ මුළු
බස් රියේ සෙනඟ අතර ඒ අම්මට, තාත්තට මහේෂාට ඇරෙන්න ඒ දරුවව පේන්නෙ අහිකුන්ඨීක පැටියෙක්
විදියට නිසා.
අර ගීතයක තියෙනවා ප්‍රේමයයි වෛරයයි
අතරේ වෙනස කෙස් ගසකට තරම් කියලා. ඒත් ජීවිතය කියන්නේ ආදරය සහ වෛරය අතර දෝලනය වෙන
දෙයක් ද? දැනෙන්නේ නෑ මට කොහොමද ලෝකයට ම ආදරය කරන්නේ කියලා.
මොකද අපි ලෝකයට ම ආදරය කරද්දි ලෝකය
අපේ ආදරය දකින හැටි, ඒක විඳින හැටි හරිම වෙනස්. බොහෝ වෙලාවට ආදරය කියන්නෙ අතිශය
පුද්ගලික හිමිකමක් විදියට දකින අය වැඩියි. පෙම්වතුන් පෙම්වතියන් ඇසුරෙදි මේ
තත්ත්වය හරිම සීමාකාරී වෙනවා. “ඔයාට
ලෝකයක් ඉන්න පුළුවන්, එත් මට ඉන්නෙ ඔයා විතරයි කියන හැඟීම එක්ක” ආදරේ
තමන් සතු කරගන්න දරන වෙනස ඇතුළෙ ලෝකය එක්ක සෙනෙහස දයාව බෙදාගන්න බලාපොරොත්තු වන
ආදරය හුදකලා වෙනවා. මම ය මාගේ ය කියන මමංකාරය ඇතුළෙ අනෙකා හිරකාරයකු බවට පත්වෙන්න
ඉඩ තියෙනවා. මම කැමතියි එහෙම නොවෙනවා නම්. මොකද ආදරේ කියන්නෙ කොටු කරලා, කම්බි
ගහලා, හිරකරන්න පුළුවන් දෙයක් නොවෙන හින්දා.
කාල් මාක්ස් කියලා තියෙනවා “මිනිසුන් මනුෂ්‍යත්වය ළඟා කර ගත යුත්තේ අන්‍යෝන්‍ය
පරිපූර්ණත්වය තුළින්” කියල . මම විශ්වාස කරනවා මනුෂ්‍යත්වය කියන්නෙ අනෙකා වටහා ගැනීම, සහයෝගයෙන්
දරාගැනීම කියලා.
දහසක් මල් පිපෙන බිමක දහසක් මත ගැටෙන
දිනක ලෝකය එක යායක් වෙන්න සෙනෙහස දෝරගලා යා යුතුමයි....
ගෝනගල්දෙණිය
ඉඳල රුවන්වැල්ලට එන්න පැයක් ගතවුණත් ගමනෙ වෙහෙස දැනුණෙ නැත්තෙ අවට පරිසරයෙ තිබුණු
තෙත පාට හින්දා, රබර්
වතු, කදු
පංති විතරක් නෙවෙයි කඳු පාමුල ස්වාභාවිකව ම හැදුණු කළුගල් කානු දිගේ ගලාගෙන යන
මොරතොට ඔයේ පිරිසුදු වතුර පාර මීටර පනහක හැටක දුරක වුණත් ඇහැට හරි අපූරූ සිහිලසක්
ගෙනාවා. ඒ පරිසරයෙන් මිදිල ආපහු කොළඹ එනව කියන එක සිහි වෙනකොට අනේ මේ වගේ පරිසරයක්
අපිට ඉතිරිවෙලා නෑනේ කියන හැඟීම හිතට ගෙනාවෙ කනගාටුවක්, පුංචි කාලේ අපේ ළිං අද්දරින්
ගලාගෙන ගිය, හීන්
දියඋල්පත් පාරවල් දිගේ ඉහළ පහළ ගිය, හඳයි, මඩ
කණයි, දණ්ඩි
පැටව් ගැන සිහිකරකර මං කොළඹ එන්න ආවා. යාන්තම් තුන්නාන පහුවුණා විතරයි නොදන්නා
අංකය එක්ක දුරකතනය හැඬවුණා. අතීත හිතිවිලිවලට තිත තියල මං ඇමතුමට සම්බන්ධ වුණා.
“මේ ලිහිණි ද කතා කරන්නෙ, නාදුනන කට හඬක් මගෙන් විමසා
හිටියා, “ඔව්, මේ කවුද? මිස් මාව දන්නෙ නෑ, ඒත් පසුගිය දෙසැම්බර් මාසේ
හත්වෙනිදා දිනමිණ පත්තරේ බද්දර මල්ලෙ මිස්ගෙ ආටිකල් එක මගේ අක්කගේ පුතා ගැන
ලියවිලා තිබුණෙ. ඒකයි කතා කළේ” මගේ
හිතට මහ විශාල සතුටක් දැනුණා. කාලෙක ඉදන් දැනගන්න බලාහිටිය කෙනෙක් ගැන ආරංචියක්
ලැබෙනවා කියන්නෙ කොපමණ සතුටක්ද? ඉතිං
කොහොමද පුතාට. දැන් එයාට සනීපයි නේද? මම ඒ පුංචි පුතාගෙ පුංචි අම්ම ගෙන් ඇහුවා. “අනේ නෑ අපේ පුතා හුඟක් අසනීපෙන්
ඉන්නෙ මිස්, එයාට
ඇවිදින්න බැහැ, ඊයෙ
පෙරේද ඉදල කතා බහ කරන්නෙත් නෑ.” විදූෂා
ගෙ හඬ මට හීනෙන් වගේ ඇහුණා. මගේ සතුටට තත්පර පහක් වත් ආයුෂ තිබුණෙ නෑ.
වීදුෂා
මට බොහෝ දේවල් කීවා. ඇත්තටම මම ලිහිණිගේ ලියමනේ ලිව්වා වගේම නිම්තක මනුල් ජයවික්‍රම
පුංචි පුතා හිතාගෙන ඉන්නෙ, එයා
කැමතිම ක්‍රිකටර් එයාව බලන්න ආවා කියලා. සතුට වැඩිකමට ඒ මෙහොතෙ පුංචි මනුල් අත්සන්
කරන්න කියල අත දිගු කරත්, සංග
මාමා රෝහල් පිළිගැනීමේ කවුන්ටරයෙන් ඉල්ල ගත්ත කොලේක, නිම්තක කියල නම ලියන හැටි නිම්තකගෙන් අහගෙනම කොලේ අත්සන්
කරල දීල ඉක්මණ්ට සනීපවෙන්න ප්‍රාර්ථනා කරලා, ගියා විතරක් නෙවෙයි, පුළුවන් හැම වෙලාවෙම යෙහාලි නැන්දත් එක්ක නිම්තකගේ සැප
දුක හොයල බලනවා කියලත් විදූෂා මට කීවා.
ඒ
දුර ඇමතුම අවසන් වුණේ නිම්තකව බලන්න යන්න අමුත්තන්ට අවසර තියෙනවා කියලත් දැන ගත්තට
පස්සෙ. බ්‍රහස්පතින්දා , සිකුරාදා
යොදාගත් වැඩ කීහිපක් තිබුණු නිසා. සෙනසුරාදා නිම්තකව බලන්න යන්නයි මම සූදානම්
වුණේ. නිම්තක කාටුන් බලන්නයි, කම්පියුටර්
ගේම් ගහන්නයි තමයි වැඩිය කැමති කියල දැනගන්නත් ලැබුණා. කොළඹ ශාන්ත පීතර විදුහලේ
ඉගෙන ගත්ත මේ පොඩ්ඩා. ක්‍රීඩාවලට, පොතේ
පතේ වැඩවලට හැමදේට ම එකවගේ පාසලෙ හැම දේකින්ම ජයග්‍රහණය කරපු චැම්පියන් කෙනෙක්
කියලත් ආරංචි වුණා.
සිකුරාදා
මම විදුෂාට කතා කළා නිම්තකගෙ ගෙදරට යනපාර දැනගන්න. ඒ වෙද්දි හදිසියේ අසාධ්‍ය වුණු
නිම්තක රෝහලේ දැඩි සත්කාර එකකයට ඇතුළු කළා කියල දැනගන්න ලැබුණා. සෙනසුරාදා හවස
එකහමාරට විතර අපි රෝහලට ගියා. ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් පෙරේරා දොස්තර
මහත්තය ඒ වෙද්දිත් නිම්තකව ශල්‍යකර්මයකට ලක්කරමින් හිටියෙ. හොදින් දුව පැන ඇවිදපු
නිම්තක පුතා අසනීප වෙලා තියෙන්නෙ හිටි හැටියෙ. නොවැම්බර් 23 වෙනිදා උදේ පාසලේ සෙල්ලම්
කරද්දි තවත් දරුවෙක්ගෙ හිස නිම්තක ගෙ හිසේ වැදිලා තියෙනවා. විවේක කාලයටත් පස්සේ
හිසරදේ හැදුණු නිම්තක රෝහල් ගත කල පසුවයි දැනගන්න ලැබී තිබුනේ මොළය ආශ්‍රිතව
තිබුණු කුඩා ගැටිත්තක බලපෑම නිම්තකව අඩපණ කරල කියලා. වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා
එම් ආර් අයි පරික්ෂණයට රෝහල් ගතවුණු දා තමයි මම ඔහු මුලින් දුටුවෙ.
දැඩි
සත්කාර ඒකකයේ රෝගීන්ගෙ අමුත්තන් සඳහා වෙන්වූ ප්‍රදේශය අමුත්තන්ගෙන් පිරිල ඉතිරිලා
තිබුණ. දැඩි සත්කාරෙ රෝගීන් ගොඩක් ඉන්නවද? මම ළඟ සිටි රෝහල් සේවකයකුගෙන් ඇහුවා. නෑ මේ නිම්තක
පුතාගෙ කට්ටිය. ඔහු මට කීවා. නිම්තක වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරන්නයි ඒ හැමෝම
රෝහලට රැස්වෙලා හිටියෙ. පවුලේ උදවිය, ඔහුගේ පාසල් මිතුරන්ගෙ අම්මලා, ගුරුතුමීලා විතරක් නෙවෙයි අම්ම
තාත්තගෙ කාර්යාලවල හිතවතුන් රැසක් ඒ අතර. අපි පැයක් එකහමාරක් ඉදල ආවෙ ආයෙ දවසක
නිම්තක බලන්න යන බලාපොරොතුවෙන්. ඒ වුණත් විසිහය සෙනසුරාදා උදේ ඒ බලාපොරොත්තුව
මිලින වුණා. “ එයා
අපි ළඟ දැන් නෑ ලිහිණි. එයා අපිව දාල ගියා” විදූෂා මට කෙටි පණිවිඩයක් එව්වා. ඒ වෙද්දිත් මම මාතර බලා
එමින් හිටියෙ.
විදුෂාගෙ
හිත හදන්න මහ ලොකු දෙයක් කරන්න බැරි වුණත් මං ඇයට කෙටි පණිවිඩයක් තිබ්බා.“පුතා නැතිවීම අපිට දුකක් වුණත්
එයා ලොකු දුකකින් නිදහස් වුණා. අපි එයාගේ ඊළඟ ජීවිතේට සුබ පතමු කියල” මේ සටහන ඔයාල නෙත ගැටෙන මොහොත
වෙනකොට නිම්තක පුතාගෙ අවසන් කටයුතු අහවර වෙලා හත් දවසෙ පින්කමේ කටයුතුත් කෙරිල
තියේවි. අවසන් මොහෙත දකින්නට සමහර විට අවසරයක් නොතිබුණත් වෛද්‍ය ප්‍රතිකාර අතරතුර
සතුටු උයන ළඟ අස්සය පිටේ නැගලා රවුමක් යන නිම්තක පුතාගේ සතුට පිරුණු මූණෙ ජායාරූපය
හැමදාම මගේ හිතේ තියේවි.
මම
දන්නවා “සංගා
මාමා මාව බලන්න ආවා” සටහනකියවපු හැම හිතක්ම නිම්තක පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඇති. පොළවෙ පය ගහපු
සංගක්කාර මාමාගෙ හමුවීම, සොයා
බැලීම ඒ පුංචි හිතට මහ මෙරක සතුට දෙන්න ඇති. මේ
සටහන කඳුළු බින්දුවක් වුණත් පුළුවන් වෙලාවක කාගෙ හරි හිතකට සතුටක් දෙන්න
පුළුවන්කම් තියෙනවා නම් ඒක කරන්න මැළිවෙන්න එපා කියන පණිවිඩේ දෙන්න, නිම්තක මනුල් ජයවික්‍රම පුංචි
පුතාටගෙ සමුගැනීමේ කතාව ඔබට ආයිත් කිව්වා. ඉතින් නිම්තක පුතේ ඔබට සුබ රාත්‍රියක්
!!!!!


සංග මාම මාව බලන්න ආව
සියල්ල අවසන මාස හතරකට පසුව නිම්තක මනුල් ජයවික්‍රම නම් ශාන්ත පීතර විද්‍යාල යේ වයස අවුරුදු 15 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා සිය කුමර දිවියට සමුදී තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී නාම මාත්‍රය අප අතර ඉතිරි කර ගිය ඒ සිඟිති පුතුට සැනසීම පතමු.
නිරුවත් සිතිවිලි
29 Mar 2013 8:50 AM (13 years ago)
 |
| Add caption |
මිනිස්සු
අමනුස්සකම් හංගගෙන ඉන්නෙ, දරාගෙන ඉන්නෙ කොච්චර
අමාරුවෙන් ද කියල දැනෙන්නෙ පාරට බැස්සහම. මේක තවත් එක කාන්තාවකගේ දෘෂ්ටියක් විතරක්
වෙන්නත් පුළුවන්, ඒ වුණත් අනේ මන්දා
පිරිමියෙක් දැක්කහම ගැහැනුන්ගෙ හිතිවිලිත් කුපිත වෙනවද කියලා. මේ කතා මෙහෙම කියන්න
ලැඡ්ඡා බය ගෑවිලාවත් නැත්ද කියල අහන අයත් ඉන්නවා. ඒ කොහොම වුණත් කියන්න තියෙන දේ
නොකියා හිටින්න බැරි තරමටම අපේ සමාජයේ මනුස්සකම පිරී ඉතිරී තියෙන හින්ද මේ කතා
කියන්නම වෙනවා.
අපි
වැඩට යන්න එන්න බස් එක තෝර ගන්නෙ ඒ සඳහා වෙන විකල්පයක් නැති හින්දා, අපි සල්ලි ගෙවුවත් අනුන්ගෙ
බස්නෙ, ඉතින් හෙට යන්න තියෙන
ගමනක් අද යනවයි කියල හිත හදාගෙනමයි බස් නැවතුමට යන්නෙත්.
බස්
නැවතුමට යනකම් එනකම් මඟ දිගට මුණ ගැහෙන සමහරක් පිරිමි පරාණ බලාගෙන ඉන්නෙ කොයි
වෙලේද ගෑනියෙක්ගෙ රෙද්ද වචනවලින් ගලවන්නෙ කියලා. කෑලි, බඩු , අයිටම්, පාර, මල් තව එක එක ජාති, ඒ විතරක් නම් මදෑ නෑදැකම්,අක්කෙ, නංගියෙ, තව සමහර වෙලාවට පාරක් තොටක්
අහන්නත් එනවා.
ඊළගට
බස් නැවතුම. කෙල්ලෙක් හරි ගෑනියෙන් හරි තනියම නම් ඉන්නෙ. පාරෙ යන ත්‍රීවීලර්
මෝටර් සයිකල්, කාර් වෑන් ඔය ඔක්කොම
වාහනවල නළාව නාද වෙනවා. මට තේරෙන්නෙ නැහැ මොකක් ද ඒ අය වළක්වා ගන්න හදන අනතුර
කියල. ඒ අතර බොහොම ආදරණිය ඇමතුම් හෙමත් නැතිවා නොවෙයි. එන්න, යන්න, ආතල් ගන්න කතන්දර ගොඩයි. මම
මේ කියන කතාව ගමට විතරක් නෙවෙයි කොළඹටත් එක වගේම අදාළයි.
මම
මේ කතාව මෙහෙම කියනකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ කියන දේ ඇත්තමද කියල? කොහෙද ඉතින් ගෑනු යන්නෙ
එන්නෙ පිරිමි කරකවලා අත ඇරලනෙ,
ඔක්කොම
එළියෙ දාගන යන්න ඇති. විනයත් චාරයක් නැතිව යනකොට ඔහොම වෙලා මදි කියල හිතන අයත්
ඇති.
විනයක්
හික්මීමක් නැති මිනිස්සු ඉන්න ලෝකෙ ඕවා එච්චර හිතන්න දේවල් නෙවෙයි තමන් පරිස්සම්
වුණාම ඉවරයි කියල හිතන අයත් ඇති. නමුත් තමන් ඇරෙන්න අනිත් අයට මොනව වුණත් කමක් නෑ
කියල හැමදේම දිහා ඇස්කන් වහන් බලාගෙන ඉන්න අයට තමන් ඉන්න සමාජ දිහා ඇස් කන් ඇරලා
බලන්න කියල කියන්න මට අවශ්‍යයි.
පාසල්
වෑන් රියක යන පුංචි පුතෙක් පහුගිය දිනක ඔහුගේ සොයුරියගෙ කාන්තා ඇදුම් කිහිපයක්
සොරාගෙන සිටිද්දී මවුපියන්ට හසුවුණා. තමන් එකට පාසල් යන වෙනත් පාසලක අයියෙක් ගෙ
ඉල්ලීමට තර්ජනයට බියෙන් ඔහු තමන්ගෙ සොයුරියගෙ ඇදුම් සොරාගෙන ගොස් තිබුණා. අම්මල
තාත්තල අපේ දරුවො ආරක්ෂිතයි කිසි කරදරයක් නෑ කියල හිතන් ඉන්නව නම් අන්න වැරදෙන එක
තැනක්.
ඇගේ
පුතාව පාසලේ නේවාසිකාගාරයෙන් ඉවත් කරගත් අම්මෙක් පහුගිය දාක මට කතා කළා. අනේ මිස්
මම දරුවව හොස්ටල් එකේ නතර කරේ මට තියෙනවට නෙවෙයි. දරුවගේ අනාගතේ හදන්න. අන්තිමට
දරුවා නතරකරන්න වුණෙ මානසික රෝගී සායනයක. ඇත්තම කීවොත් පුංචි ඔපරේශන් එකක් කරලා
අසනීපෙ සනීප වුණාට පස්සෙ මාස හයක් විතර මානසික සායනයට දරුවව ගෙනියන්න වුණා. ඇස්
කෙවෙණිවලින් කඳුළු බිඳු කඩා වැටෙද්දි ඇය මා එක්ක කිව්වා.
ඒ
විතරක් නෙවෙයි ඇගේ දරුවව අපයෝජනයට ලක්වුණු දරුවත් සමාජයෙන් අපයෝජනයට ලක්වුණු
දරුවෙක් බව පසුව හඳුනාගෙන තිබුණා. ඉතිං මේ සර්කල් එක එහෙම නැත්නම් මේ චක්‍රය
නවතින්නෙ කෙහෝද කියල හිතනඑත. නවත්වන්නෙ කොහෙන්ද කියල හිතන එක මහ භාරදූර වැඩක් මං
හිතන්නෙ. ඒ ගැන හිතන්න ගියාම මට හිතෙනවා මිනිස්සු ඉපදුනේ ඕපපාතිකව ද කියල? කොහොමද කියන්නෙ මෙහෙම
මිනිස්සු තමන්ගෙ අම්මලව නංගිලව අක්කලව අදුනනවයි කියලා.
පාර
තොටේ ගෙදර යන්න හරි වෙන ගමනක් යන්න හරි බසයක් එනකම් තැග් ගැහෙන, එදිනෙදා ජීවිතය පිරිමහ ගන්න
විවිධ උවමනා එපාකම්වලට ගෙදරින් එළියට බහින දැරියක්, යුවතියක්, කාන්තාවක් කාගේවත් ලිංගික
දඩයමක් වෙනව නම්, මිනිස්සු හිතනවා නම්
තමන්ගෙ පවුලෙ ගෑනු උදවිය ඇරෙන්න අනිත් ගෑනු උදවිය නිදහස් ලිංගික කලාපෙක පරිහරණෙට
සැදී පැහැදී සිටිනවා කියලා ඒ අමනුසස්යන්ට අපි ආමන්ත්‍රණය කළයුත්තේ කොහොමද?
සොබාදමේ දරුවෝ
28 Feb 2013 10:19 AM (13 years ago)

 |
| ( සේයා රූ- අමල්ක අමරසිංහ ) |
“
මගේ
තුන්මැසි දියණියගේ
රසවත්
සිහිනය දිගේ
සිනහ
කුමරි නටන කලට
දිටිමි
සියලු රූ ඇගේ ”
සිරිමා ලේකම්ගේ
ගුරුතුමිය සිංහල පාඩම අවසන් කරමින් සිටින්නී ය. පාඩම “ ඈට වසඟ නොවනු කවුරුද? ” පද්‍ය පංතියයි. ශ්‍රී
චන්ද්‍රරත්ත මානවසිංහ ශූරීන්ගේ ඒ අති රමණිය පද සංකල්පනාව සිංහල පෙළ පොත සඳහා
කවුරුන් විසින් තෝරා ගන්නා ලද්දක්දැයි කිව නොහැකි නමුත් කුඩා අපි ඊට වසඟ වී අහවර
ය. පාඩම අවසානයේ ඇගයීම් අභ්‍යාස කිහිපයකි. සිලිලාර යනු කුමක්ද, මගේ නංගී ගැන පැදි පෙළක් ලියන්න ආදී වශයෙනි.
ජීවිතයේ පළමු වරට
කවි පංතියක් ලීවීම! එය කෙතරම් අසීරු අභ්‍යාසයක් ද? කෙතරම් නම් අපූරු අභ්‍යාසයක් ද? වහා පොත දිග හරිමි. නොසැලකිල්ලක මහත, අභ්‍යාස පොතේ අවසාන පිටුව ද අහවරව තිබිණ.
මිතුරියකගෙන් කොළයක් ඉල්ලා සිටිමි. තනිරූල් පොතේ මැදි පිටුවෙන් ගලවාගත් කොළ දෙකක්
ඈ මා අත තබයි. ඉතින් මා ලියන්ට උත්සාහ කරමි. පංතියේ දක්ෂයන් කරබාගෙන අනෙකාට
පෙනෙතැයි සඟවා ගෙන කවි පබදියි.
මමද කවක් පබදන්නට
උත්සාහ කරමි. ණයට ඉල්ලාගත් කොළ දෙකෙන් එකක් කවි කුරුටුවලින් නාස්තිව අහවර ව තිබේ.
ළමයින් පෙළ සැදී ලියු කවි රැගෙන ගුරු මේසය අසළ ය. මගේ නංගී... මම තාමත් ඇය ගැන
සිතමි. ඇගේ සිඟිති දඟකාරකම් මටත් හොරා කොළයේ සටහන් වෙයි.. අවසන මම කවක්යැයි
නොදන්නා සටහන් කොළයක් පිටු ඉවර වූ සිංහල අභ්‍යාස පොතේ අවසන් පිටුවට එක්කර ගුරු
මේසය අසලට යමි.
කුමකින්
කුමක්වේදැයි සිත දෙගිඩියාවෙනි. අලංකාර පිටකවරින් හැඩවු පොත් ගත් දෑත් අතර කවියක්
ලියූ කොළයක් රැගත් දෑතක්, ඒ එසේ වුව ජීවිතයේ
මුල් වරට ලියූ කව ගුරුතුමීට නොපෙන්වා සිටීමට ද නොහැකිය.
“ටීචර් පොත ඉවරයි, හෙට අලුත් පොතක් ගේන්නම්” පැනයක් අසන්නටත් කලින් උත්තර බැදගෙනම මා ඇය අසළ
ය. කාරුණික සිනහවකින් මුව සරසාගත් ඇය ඉහේ සිට පාදය තෙක් විමසුම් ඇසකින් මදෙස බලා
සිටී. “මේක ලිව්වේ ඔයාද?” “ඔව් ටීචර්” “පොතකින් පත්තරේකින් බලල මතක තියාගත්ත කවියක් ද?” “නෑ ටීචර් මං මයි
ලිව්වෙ, මගේ නංගි ගැනයි මම
ලිව්වේ” “එහෙමද? හොඳයි... ළමයි මෙන්න අහගන්න... දයානන්ද ලියපු
කවි පංතිය.. ” පංතිය මීයට
පිම්බාසේ නිහඬ ය. මෙතෙක් කලක් පංතියේ සිටීදැයි නොදැන සිටි දරුවෙකුගේ නිර්මාණාත්මක
උපත එදවස එසේ පන්නිපිටිය ධර්මපාල විදු පියසේ අරලිය ගස් පාමුල පංති කාමරයක දී
සිදුවිණි.
අම්මගෙ
සාරියක් ඇදන්
බෝනික්කගෙ
ගුරුතුමී වී
ගෙදරට
සිරියාව ගෙනෙන
මගේ
නංගියා
මගේ
පොඩි මල් පාත්තියේ
පිපෙන
පිපෙන මල් කඩමින්
අම්මාගෙන්
බැනුම් අසන
මගේ
නංගියා
පුංචිදේට
තරහ වෙලා
පොඩි
ඇස්වල කඳුළු පෙරා
අයියගෙ
තුරුලටම දුවන
මගේ
නංගියා
කාගෙත්
ආදරය ලබා
ගෙදරට
හිරු එළිය වෙලා
හැමදාමත්
හිනාවෙන්න
මගේ
නංගියා....
ඒ සියල්ල අතීතයේ
තබා වර්තමානයට පැමිණෙමි. සරසවිය හා එහි සිසු සිසුවියන් පිළිබඳ මෑත සති අන්තයක
සරසවි ආචාර්යවරයෙක් හා අප අතර ඇතිවූ කතාබහකට යොමුවෙමි. “සරසවිය දැන් දැනුම සොයායන තැනක්වත්, දැනුම උත්පාදනය වන තැනක් වත් නොවෙයි. දැන් ඉන්න
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඕනෙ, යමක් අහල ඒක නැවත
ඒ විදියට වමාරල විභාගෙ පාස් වෙන්න විතරයි. සංවාද කරන්න, සාකච්ඡා කරන්න මතවාද ගොඩනඟන්න ඔවුන්ට උවමනාවක්
නෑ. එහෙම දේකට අවශ්‍ය ශාරීරික මානසික සමබරතාවය අලුත් පරම්පරාවෙන් ගිලිහිලා
ගිහිල්ලා. ළමයින්ට අවශ්‍ය උපාධිය පාස්කරල රජයේ රැකියාවක් කරන්න විතරයි.”
එය එසේ වුයේ
ඇයිදැයි විමසමි. දරුවන් පවුලෙන් ඈත ය. අම්මලා දරුවන්ගෙන් බොහෝ ඈත්ව සිටිති.
ගුරුවරුන් පරිකල්පනයෙන් ඈත ය. එවන් පරිසරයක ගොඩනැඟෙන දරුවන් පිළිබඳ ව වගකිව
යුත්තේ, වගවිය යුත්තේත් අප
අපම ය. පළමුව අම්මා සහ පවුල වෙතිනුත් දෙවනුව පාසල් මවුන් වෙතිනුත් සංවේදී
සන්වේදනාව, හෘදය සංවේදී ක්ෂිර
දහරාවක්ව දරුවන් වෙත ගලා යුතු ය. ගුරු දෙගුරුන් පරිකල්පනයෙන්, සන්නිවේදනයෙන් ඈත්වූ කල, තමා අවටැති දේ පමණක් දන්නා යාන්ත්‍රික මිනිසකු
බිහිවීම වැළැක්විය නොහැක්කකි.
අපි සොබාදමේ
දරුවන් වූයෙමු. වෙලේ දුවන පනින, ගස්
ගද ගහන, මඩ නාන, හිතුවක්කාරකම්වලට කෝටු පාර වැදුණු දරුවන්
වූයෙමු. ජීවිතයේ පාර අසාගෙන, පාර
සොයාගෙන යන දරුවන් වූයෙමු. තෙත හිත, ඉගෙනීමේ අසාව, සොයා බැලීමේ කුතුහලය ඇත්තෝ වුයෙමු.
අපි සොබාදමේ
දරුවන් තැනිය යුතු වෙමු. පොත පතට පෙම්බදින්නෝ විය යුතු වෙමු. දරුවන්ට ආදරය කරන්නෝ
වෙමු. ඒ වර්තමානයේත් අනාගතයේත් අප වගකීමයි. රටක අනාගත දැයේ දරු මුණුපුරන් වේ නම්
ඔවුන් යහගුණයෙන්,සෙනෙහසින් හෘදය
සංවේදී කිරිමේ යුතුකම හා වගකීම ආදරණිය අම්මේ තාත්තේ ඔබ මා සතු වගවීමයි.
ඉතින් මේ සටහන
මෙසේ අකුරු කරන්නට යෙදෙන දවස මට සුවිශේෂ වේ. උපන්දා සිට මෙතෙක් අතීතයට එක්වූ
දිවියේ ස්වර්ණමය මතකයන් කැටි කළ එක් රිදී ජුබිලියක් පසුගියදා යෙදී තිබිණි. මතක මංපෙත දිගේ
ඇවිද යමි. පන්නිපිටිය ධර්මපාලය, එසේ
නැතහොත් කුඩා කල මගේ සිහින පාසල , මගේම
පාසල වී පසුගිය පෙබරවාරී පහලොස් වනදාට වසර විසි පහක් සැපිරිණි. ජීවීතෙන් හරි අඩක දුර ආපසු හැරී බලමි. සැබවින්ම ධර්මපාලය පරිකල්පනයේ තෝතැන්නක් වුයේ ළමා මනස පරිකල්පනයෙන් පුබුදු කළ, දරුවන්ට ආදරය කළ, ජීවිතය කියාදුන් ගුරු මවුපියවරුන් එහි
නිවැසියන් වූ නිසාය.
පුංචිලෑ ගෙදරට ගිහින් එන්න
ඕනැකම තිබුණත් පහුණු කාලේ එක එක දිගට තිබුණු වැඩ කටයුතුත් එක්ක දවසින් දවස
ඒ ගමන අතපහු වෙලා තිබුණා. පහුන ඉරිදාවක තවත් ඥාතීන් පිරිසකුත් එක්ක අපේ ගෙදර අයත් පුංචිලෑ ගෙදර යන්න
දාගත්තා. අපේ ගෙදර අයට එහෙට එන්න කියල මම
සරසවියේ ඉදන් කෙළින්ම පුංචිලෑ ගෙදරට ගියා. කටට රහට විවිධ කෑම හදන අතරේ, ලොකු දූ බත්
ටිකක් කමුද? කියල අහපු පුංචි අම්ම මං හා කියන්නත් කලින් බත් බෙදල තිබුණා. රතු
කැකුළු බත්, වට්ටක්ක දළු මාළුවක් එක්ක රාත්‍රියට සූදානම් කරපු හතු මාළුවයි, අල
කිරි හොදියි පුංචි අම්ම බත් එකට බෙදල තිබුණා.
ඒත් ඒක හදන විදිය පුංචි දැනගෙන හිටියෙත් නෑ . ඇගේ වත්තේ වට්ට්ක්ක වැලක දළු නෙලාගෙන
ගිය අසල්වැසි අම්ම කෙනක් තමයි ඒක උයල තිබුනේ.
කොස් ඇටත් එක්ක පොල් පොඩ්ඩක් අඹරල දාල දාල කොළ පාට රැකෙන්න රසට උයල තිබුණු වට්ටක්ක
දළු මාළුව රහ බලන්න උයන විදිය දැනගෙන අනිත් අයටත් කියන්න ඕනෙ කියල හිතුනෙ ඊයේ පෙරේද දවසක
කොළඹ හතේ වැටකත් ලස්සනට දිග ඇදෙන වට්ටක්ක වැලක් දැක්කට පස්සේ. ඉතින් මං ඒ ගැන
අහගන්න මගේ පැරණි සරසවි සඟයෙකුට කතා කලා. අන්තිමට
සරසවියේ සහෝදරත්වයේ මතක ගැන ලියන්න ඕනේ කියල මගේ හිත කිව්වා.
අපි හිටියේ කොළඹ සරසවියෙ සුජාතා ජයවර්ධන
නේවාසිකාගාරේ නව ගොඩනැගිල්ලේ, ඒකෙ තට්ටු
හතරක කාමර හතලිස් හතරක එක කාමරේක හය දෙනා
බැගින් හැට දෙසිය හැට ගානක් ළමයි හිටියා. ලංකාවේ හතී කොණ ඉදල එන කට්ටිය. මහව,
ආණමඩුව, පුත්තලම, අනුරාධපුරය, අම්පාර, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑළිය, ගාල්ල මාතර,
බෙලිඅත්ත. අක්කරේපත්තුව, යාපනය
තිරිකුණාමලය වගේ රටේ නන් දෙසින් ආපු සිංහල
දෙමල මුස්ලිම් ළමයි, නීතිය කළමණාකරණය, විද්‍යාව, කලාව හදාරන ළමයි, දුවන පනින, පීනන
ක්‍රීඩා කරන ළමයි, ලියන කියවන ළමයි, මේ
හැමෝම අපේ නේවාසිකාගාරෙ හිටියා. පේරාදෙණිය තරම් සොභාවික සුන්දරත්වය අතින් අනූන
තැනක් නොවූවත්, සෑම සරසවි නේවාසිකාගාරයක්ම විවිධ මත ගැටෙන, සංස්කෘතීන්
මුණගැහෙන, නව සබදකම් තරවෙන සොඳුරු නවාතැන්
පලක් කියලයි මට හිතෙන්නේ. ඒක පේරාදෙණියට වැඩිය රුහුණ හොදයි, ඊට වඩා කොළඹ
හොදයි වගේ ජනප්‍රිය කතිකාවෙන් එහාට ගිය දෙයක්.
කොහොමත් ඉතින් සරසවිය කියන්නෙ අපි අපේ ජීවිතේ
බොහෝ දේවල් බෙදා ගත්ත තැනක්නේ. උපාධි සහතිකය විතරක් නොවෙයි, ජීවිතය, ආදරය, සහයෝගය
වගේ තවත් බොහෝ දේවල් අපි ඉන් ඉගෙන ගත්තා. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක්
වුණු අපේ මේ පුංචි රටේ හැම බිම් අඟලකටම යන්න බැරි වුණත් රටේ හතර කොනෙන් ආපු සහෝදර
බැම්ම අපිව එකට එකතු කරා.
සමහර විට නමවත් අහල නැති. එහෙම නැත්නම් නම විතරක්
අහල තිබුණු කෑමක රස බලන්න අපට අවස්ථාව සැලසුනේ සරසවි නේවාසිකාගාරෙදි විතරමයි. කොල්ලු ආනම, අල කොළ ඇඹුල, ඕලු දඩු මැල්ලුම, තැල්
කොල ඇඹුල අපි රහ බැලුවෙ අපේ සරසවි සඟයන්නෙ බත් ගෙඩියෙන්. හැම සතිඅන්තයේම නැතත් හුඟ වෙලාවට මාසෙකට වරක්
වත් සිකුරාදා හවස කෝච්චියෙන් හරි බස් එකේ
හරි ගෙදර යන ළමයි ඉරිද හවස හය වෙන්න කලින්
නේවාසිකාගාරයට එන්න උත්සාහ කරනවා.
ඉතිං හැම කාමරේකටම හැම සති අන්තයේම කවුරුහරි
ගෙදර ගිහින් එනවා. කාමරේ හැමෝටම බඩ
පිරෙන්න නැතත් හිත පිරෙන්න තියෙන විදියට කන්න යමක් හොයල හදල එවන්න බොහෝ විට
ජීවිතේ කවමදාවත් අපිට මුණ නොගැහෙන අපි නොදන්න අපේ යෙහෙලියන්ගෙ අම්මල අමතක කරන්නෙ
නෑ. ඒක බත් ගෙඩියක්, රටකජු මුලක්, අඹ, දිවුල් මල්ලක් වෙන්න පුළුවන්.
දිවුල් සම්බෝලේ මම පළවෙනි වතාවට රස බැලුවෙ “චුටි බබා”
ගෙන්. මහව ඉදල සරසවි ආ ඇය පහුණු කාලෙ මොරවැව පාසලේ ඉගැන්නුවා. අද කොහේද දන්නෙ නෑ.
ආණමඩුවෙ මල්පානව චන්දිලගෙ ගෙදර වත්ත පුරාම කරඹ තියෙනවා. අහල පහල පුංචි වැව් දියේ
ඕන හැටිය ඕලු තියෙනවා. ඔලු දඩු ( ඕලු කොළ සහ මල්වල නැටි) කඩල කොහිල දල්ලෙ නූල අරිනව වගේ පිට පොත්ත ඇරල,
හීන් වෙන්න ලියල ලුණු දියේ දාල මිරිකල පොලුයි,
රතුලූණුයි එක්කර හදන සමබෝලෙ මතක් වෙනකොට දැනුත් බත් පිගානක් කන්න හිතෙනවා. චන්දිගෙ
අම්ම බත් හැළිය ළිපෙන් බාපු ගමන්, ඇතුල් බතකට බත් එක බෙදනව විගහට නිවෙන්න. ඊට
පසුවයි ඇය දරුවන්ට බත් බෙදන්නේ.
ඇඹිලිපිටියේ සුරංගි, දැන් කොහේහරි උසාවියක
නීතිඥවරියක් වෙන්න ඕනෙ. ඇගේ බත් ගෙඩියෙ නොවරදින කෑම අලකොළ ඇඹුල, ඇය කියා දුන් විදියට අල කොළ ඇඹුල හදන්නෙ වෙල් අල
කොල (හබරල ගොබ ) දිගහැරෙන්ට කලින් නෙලාගෙන දවසක් පවනෙ තියෙන්නට හැරල අරගෙන. මුලින්
අල කොළ හොදින් සෝදල දිග ඇරල සත්තු ඉන්නවද
බලල එක මිටට ගැට ගහල පැහුණු උණුවතුරට දාල අරගෙන තරමක කෑලි වලට කපා ගෙන පැත්තකින්
තියා ගන්නවා.
ඇඹුල ඒදන හට්ටියට අරගෙන උකු මිටිකිරි එක්ක, මිරිස් කුඩු, කහ, තුනපහ, උළුහාල්, කරපිංචා, රම්පෙ, ලුණු රතු ළූණු, ගොරකා, සුදුළූණු ඔක්කොම එකතු කරල හොද්ද ලිප තියල එය
උතුරාගෙන එන විට කපාගත් අල කොළ එකතු කරනවා.
මදගින්නේ තරමක් වෙලා උයා ළිපෙන් බා ගත් පසු හොද්දට දැමූ ගොරකා කෑල්ල අයින් කරන්නත්
මතක තියා ගන්න ඕනෙ. තවත් වැඩි රහක් ඕනේනම් කරපිංචා කොළයක් අබ ස්වල්පයක් එක්කාසු කරල තෙම්පරාදු කරගන්නත්
පුළුවන්.
මේ අතීත මතක ලිව්වෙ වට්ට්ක්ක දළුවක් නිසානේ. ඒක හදන විදියත් ලියා තියන්නම්. අපි මාළුව කිවිවට පැරනි ගමේ ඇත්තො වට්ටක්කා දළු
මාළුවට කීවේ නියඹලාව කියලලු, සිනිදුවට පොල්අඹරල හදන එළවළු වලට ගම්තුලානෙ ඇත්තො
කියන්නෙ එහෙමලු, මෙන්න හදන විදිය.
වට්ටක්කා
දළු හරියෙන් වෙන්න කරටි ටිකක් අවශ්‍යයි, මෝදුවෙන දල්ලක් එක්ක ළපටි දළු දෙකක් විතර හිටින්න කඩා ගත් වට්ටක්කා කරටි හොදින්
සෝදා, දියබේරුනාට පසු රේණු කෙදි හැර දඬු වල බූව පිහියකින් යන්තමට අයින් කර තරමක ලොකු කැබලි හිටින්න කපාගන්න ඕනේ. තලාගත්
කොස් ඇට ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්නම් පංකාදු පහයි. මැටි හට්ටියකට වට්ටක්ක දළුයි කොස් ඇටයි , අමු මිරිස්, රතු ලූණු අවශ්‍ය
පමණත් රම්පෙ කරපිංචා එක්කර ඒකටම ලුණු, කහ , තුනහප, උම්බලකඩ එකතු කරගන්න ඕනේ. මේ සියල්ල දියකිරි සවල්පයක් එක්කර වැහුම් ඇර
මදගින්නේ උයාගන්න අවශ්‍යයි. පොල් කිරි මිරිකා ගැනීමට පෙර අඹරා ගැනීම සඳහා පොල්
මිටක් මෙන්ම මිටිකිරි ද පසෙකින් තබාගත
යුතුයි. අවසානයට
ගම්මිරිස් ඇට ස්වල්පයක්, සුදු ලූණු
බික් දෙකක් තුනක්, අබ ටිකක්, කුරුඳු
කෑල්ලක් සහ හෝදලා ගත්තු හාල් මිටක් සමඟ සිනිදු වට ගුලියක් සේ අඹරාගත් පොල් යොදා මිශ්‍රණය
කලින් වෙන් කල මිටිකිරි සමඟ එක්කර ලිපේ ඇති වට්ටක්කා දළු මාළුව ඉදී ගෙන එද්දී එයට
එක්කරගත යුතුයි. මතක තියාගත යුතු වැදගත්ම දේ වට්ටක්ක දළු මාළුව වැහුම් ඇර කොළපාට
රැකෙන සේ උයා ගැනීමයි.
ප්‍රතිචාර
31 Jan 2013 5:45 PM (13 years ago)
http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2013/02/01&id=2013/02/01/b13020111
තුන්කාලේ නෝනා
ටොම්සන් මහත්තයා අහස දිහා බලා ගෙන හිටියේ ඈත ඉඳන්
පියාඹා ගෙන එන කුරුල්ලෙක් දිහා ය. කුරුල්ලෙක් ද කිරිල්ලියක් ද කියලා කියන්ඩත් බෑ.
මෙන්න බොලේ අහසේ ඉඳන් ආපු මොකා හරි ටොම්සන් මහත්තයා ළඟට පාත් වෙච්චි ගමන් මැවුණේ
ගෑනු පරාණයක්. ඇඳ ගෙන හිටියේ තුන් කාලකුයි, ටී ෂර්ට් එකකුයි.
‘මේ
ටොම්සන් මහත්තයා වෙන්ඩ ඇති... මං ආවේ විශ්වවිද්‍යාලේ පැත්තේ ඉඳලා...’
‘ඉතින්
මොකද අප්පේ මේ කලබලේ.. ටිකක් හති ඇර ගන්ඩකෝ..’
‘... හති
තමයි... මං ගියා විශ්වවිද්‍යාලෙකට...’
‘... කොහෙද? ’
‘කොහෙද
කියන්නේ.. මේ ලංකාවේම තමයි.... ’
‘... මේ
විදිහට ඇඳ ගෙන ද ගියේ?’
‘... ඔව්, මේ තුන්කාල තමයි ඇඳ ගෙන ගියේ...
ඇයි මොකද? නරකද? අපි මේ ඉන්නේ පශ්චාත් නූතනවාදී
යුගයේ... මේ විශ්වවිද්‍යාලවල තවමත් තියෙන්නේ අවිද්‍යාව නේ... නැතිනම් තුන්කාල
ඇන්දා කියලා අපිව එලවා ගනීවියැ...’
‘... අනේ
නෝනා... හරියට කියන්ඩකෝ ඉතින් මාව හම්බ වෙන්ඩ ආවේ ඇයි කියලා.. ’
‘... මං
ආවේ මේ විශ්වවිද්‍යාල පාලනය කරන ලොක්කට විරුද්ධව පෙත්සමක් ගහන්ඩ...’
‘කාටද?'
‘මං
දන්නේ නෑ කාටද කියලා... මේ නවීන කාලේ, පශ්චාත් නූතන කාලේ විශ්වවිද්‍යාලෙට තුන්කාල ඇඳ ගෙන
ගියා කියලා එහෙම අපිව එලවන්න පුළුවන්ද? කෝ කාන්තා අයිතිවාසිකම්... ?’
‘... මං
හිතෙන්නේ නෝනා.. මේකේ වැරැද්ද තුන්කාල ඇඳපු එකයි.. මං හිතන්නේ ඔය විශ්වවිද්‍යාලේ
අනුමත ඇඳුම තුන්කාලේ කලිසම නෙවෙයි.. කාලේ කලිසම... එතකොට නේ මේක පශ්චාත් නූතන
වාදයට අයිති වෙන්නේ...’
‘මට
නම් ලැජ්ජයි ටොම්සන් මහත්තයා, මේ ලංකාවේ තවමත් මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන.. දැන්
බලන්ඩකෝ... එංගලන්තේ, එක
ඡායාරූප ශිල්පියෙක් ආරාධනා කෙරුවා මිනිස්සුන්ට ගෑනුන්ට ලෝකේ ලොකු ම නිරුවත්
පින්තූරය ගන්ඩ එන්ඩ කියලා.. ආවානේ දහස් ගණනින් ගෑනු මිනිස්සු නිරුවතින්... අන්න
නියම සමාජය...’
‘ඒක
හරි නෝනා... ඉතින් නෝනත් එහෙම යන්ඩකෝ.. එතකොට කවුරුවත් එලවන එකක් නෑ...’
‘ටොම්සන්
මහත්තයා මට කොචොක් කරනවද? නැත්නම්
ඇත්තටම ද එහෙම කියන්නේ..’
‘.. මං
මොකට ද කොචොක් කරන්නේ නෝනා.. මේ ලෝකේ මිනිස්සුන්ට ගෑනුන්ට සංස්කෘතියක් කියලා දෙයක්
තියෙනවානේ.. ඔය පශ්චාත් නූතන වාදයට කර ගහ ගෙන ඔක්කොම කණපිට කියලා හිතුවාට, මේ සමාජය තවමත් එහෙම කණපිට ගැහිලා
නෑ.. දැන් බලන්ඩ... නෝනා හිතනවා ඔය තුන්කාල තමයි හොඳම ඇඳුම කියලා.. අම්මලත්
තුන්කාලේ අම්මලා.. ළමයි අතින් අල්ලා ගෙන ඉස්කෝලේ එක්ක යනවා..’
‘.. අන්න
බලන්ඩ.. ඉස්කෝලෙට තුන්කාල හොඳයි.. විශ්වවිද්‍යාලෙට හොඳ නෑ..’
‘.. ඔව්, ඒක හින්දනේ ඉස්කෝලවල දැන් බෝඩ්
ගහලා තියෙන්නේ මේ පුදබිමට පැමිණෙන විට සංවර ඇඳුමක් ඇඳ ගෙන එන්න කියලා.. මොකද එහෙම
බෝඩ් ගහන්නේ? ඉස්සර
තිබුණ ද එහෙම බෝඩ්..? ඒ
කාලේ අම්මලා තාත්තලා දැන ගෙන හිටියා, තැනට ගැළපෙන විදිහට අඳින්නේ කොහොමද? තැනට ගැළපෙන විදිහට හැසිරෙන්නේ
කොහොමද කියලා... දැන් ඉන්න ගෑනුන්ට තමන්ගේ ශරීරය ගැනවත් ගෞරවයක් නෑනේ.. තුන්කාල ඇඳ
ගෙන පාර දිගේ ඇවිදින කොට ශරීරයේ හැටි කොහොම ද අනික් අයට පේන්නේ කියලා දන්නවද? හරියට මස් කඬේට අරන් යන මස්
පරුවතයක් වගේ.. ඒක තමයි අද මෝස්තරේ. කොහෙන් හරි පිටරටකින් ආවා නම් ආයේ මොනවද?,
‘... ටොම්සන්
මහත්තයටත් අමු කැවිලා වගේ.. මං ආපු ගමනින් වැඩක් නෑ වගේ...’
‘... මට
ඉස්සෙල්ලා නෝනා අමු කාලා වගේ.. නැතිනම් මේ වගේ මස්තබාල්දු ඇඳුමක් සංවරශීලී ඇඳුමක්
කියලා හිතන්නේ නෑනේ...’
‘... අනේ
යන්ඩ ටොම්සන් මහත්තයා.. ටොම්සන් මහත්තයාටත් තියෙන්නේ අපි ලස්සනට ඉන්නවාට.
ඉරිසියාව.. මං යන්ඩ ඕනෑ.. පශ්චාත් නූතනවාදී සමාජයක් තියෙන රටකට... එතකොට මේ වගේ ප්‍රශ්න
මොකක් වත් ඇති වෙන්නේ නෑ...’
‘එහෙම
නෙවෙයි නෝනා... ඉස්සෙල්ලම ගිහින් කණ්ණාඩියෙන් හරියට බලන්ඩ තමන් කවුද කියලා..? ඊට පස්සේ කල්පනා කරන්ඩ තමන් ඉන්න
සමාජය මොකක්ද කියලා.. මේක නිකම් යල් පැන ගිය සමාජයක් තමයි... ඒ වුණාට ඒක විනාශ
කරන්ඩ එපා... ඒක යල් පැන ගිය හැටියට ම එහෙමම තිබුණාවේ... නෝනා යන්ඩ අර නිරුවත්
පින්තූර ගන්ඩ නිරුවතින් යන්න පුළුවන් රටකට... එතකොට හරි...’
‘... එතකොට
කියන්නේ මේ තුන්කාලේ කලිසම හොඳ නෑ අපිට.... ’
‘... හොඳ
ඇති. ඒකනේ අඳින්නේ... තමන් කැමති නම් පාරෙ තොටේ අලෙවි භාණ්ඩයක් වෙන්ඩ... එහෙම ඇඳ
ගෙන යන්ඩ.. විශ්වවිද්‍යාලවල විතරක් නෙවෙයි. ජාතික අධ්‍යාපන ආයතනයෙත් ගේට්ටුවෙන්
ඇතුළු වෙන්ඩ දෙන්නේ නෑ තුන් කාල ඇඳ ගෙන ආවොත්... අද ඒ විදිහට ඇඳුම්වලට නීති දාන්න
සිද්ද වෙලා තියෙන්නේ ඇයි.? නෝනලා
වගේ පශ්චාත් නූතනවාදී යුගයේ අයගේ පශ්චාත් භාගය නිසා..’
ටොම්සන් මහත්තයා දිහා රවා ගෙන බලා හිටපු නෝනා ආයෙත්
කිරිල්ලියක් වගේ අහසේ පියාඹා ගෙන ගියා..
‘.. මං
හිතන්නේ පශ්චාත් නූතන වාදී රටක් හොයා ගෙන යනවා වෙන්ඩැති..’ කියා ටොම්සන් මහත්තයා සැනසුම්
සුසුමක් හෙළුවා ය.
බන්දුල පී දයාරත්න
bandulapdaya@hotmail.com
මෑත දිනෙක
මට හරි අපූරු සිදුවීමක් අත්විඳින්න ලැබුණා, එක්තරා සරසවි බිමක දි. වසර ගණනාවකට කලින් කරපු විභාගයක සහතිකය ගන්න දවසින්
දවස අපිට අතපහු වෙලා තිබුණා. ඉතින් වෙනත් ගමනක් යන ගමන් අපි සරසවියට ගොඩවෙන්න
තීරණය කළා.
සහතික කොළේ
අරගන්න. මගේ යෙහළියයි, ඇගේ සිඟිති දියණියයි, මමයි, වාහනේ අරන් ගියේ
ඇගේ සැමියා. ඒ වේලාවේ මහ වරුසාවකුත් එක්ක. ගේට්ටුවට අපේ අවශ්‍යතාවය දීල අපි සරසවි
බිමට ඇතුළු වුණා. පොඩිත්තිව වාහනේ තියල යන්න අවශ්‍ය වුණත් අපිත් එක්කම ඇතුළට යන්න
ඇයටත් අවශ්‍ය වුණු නිසා තාත්තයි දුවයි දෙන්නත් අපි එක්ක කාර්යාලයට යන්න ආවා.
අපි අදාළ
අංශයට ගිහිල්ලා අදාළ කාර්ය භාරව ඉන්න නිලධාරි මහතා ඉන්නව ද කියල සොයලා බැලුවා.
කාර්යාලයේ ඔහු හිටියෙ නෑ. තරමක මැදි වයසේ වෙනත් මහත්මයෙක් එතැන සිටියා. අපි ඔහුට
අප ආ කාරණාව කිව්වා.
“ආ පොඩ්ඩක් ඉන්න, දැන් එයා එයි”
එහෙම කියල අපි හතර
දෙනා දිහා ඉහේ සිට පාදාන්තය තෙක් විමසුම් බැල්මක් දාපු ඔහු යන්න ගියා.
විනාඩි හත
අටක් අපි එතැන ඉන්න ඇති. අදාළ නිලධාරි මහත්තයා ආවා, ඔහුගෙ මුහුණෙ තිබුණෙ කිසියම් කලබලකාරී බවක්, ශිෂ්‍ය කාලෙ දැන හැදුනුම්කම් තාමත් තියෙනවා. ඉතිං අපි පොඩි සුහද කතා බහකට
සැරසුණා. ඒත් ඒකට සූදානමක් ඔහු කෙරෙන් පළවුණේ නෑ.
අපට අවශ්‍ය
කටයුත්ත බොහොම ඉක්මනින් කරලා දීලා, කෝ කොතනද වාහනේ, යන්න යන්න
ඉක්මනින් මේක අරගෙන යන්න කියල ඔහු කීවා. වුණේ මොකක්ද කියල හිතාගන්න බැරිවුණා.
දූ හින්ද
විභාගෙකට ඩිස්ටර්බ් වුණා ද දන්නෙ නෑ. අපි අතින් වෙන වැරැද්දක් වුණා ද දන්නෙත් නෑ.
අපි ශාලාවෙන් එළියට ආවා. මෙන්න බොලේ වාහනේ ගාවට සිකියුරිටි මහත්තයෙක් දුවගෙන එනවා.
“අනේ මහත්තය ඉක්මනින් යන්න. නැත්නම් අපිටත් ප්‍රශ්නයක් වෙනවා”
අපි මැදි වුණේ මහ විශාල උභතෝ කෝටිකයකට.
“ ඇයි මොකක්ද ප්‍රශ්නෙ? අපි අතින් මොකක්
හරි වැරැද්දක් වුණාද?
මෙච්චර වෙලා
හැමදේම දිහා බලාගෙන හිටිය
දූගේ තාත්තා, හඬ අවදි කළා.
“ඔව් මේ මේ නෝනගෙ ඇඳුම මෙතනට ගැළපෙන්නෙ නෑනෙ”
ඔහු මගේ මිතුරියට කීවා.
“අනේ මහත්තය ඉක්කමනට යන්නකො.. ”
ඔහු පින්සෙණ්ඩු වුණා.
අපි
තුන්දෙනා මූණෙන් මූණ බලාගත්තා. මොකද අපි සරසවියකට ඇතුළු නොවෙන්න තරම් අසංවර විදියට
ආවේ නැති නිසා. ඒ එක්කම සරසවි බිම පුරා සැරිසරන මානවික මානවිකාවන් දිහාත්
විමසිල්ලෙන් බැලුවා. මොකක්ද අපේ ඇදුමේ වැරුද්ද කියල හොයා ගන්නත් එපැයි.
මගේ
යෙහෙළියත් මාත් දෙදෙනාම සැරසී සිටියේ ටී ෂර්ට් සහ දිගු කළිසම්වලින්, ඇගේ කලිසම විළුඹේ සිට අඟල් පමණ පමණ නිරාවරණයව තිබුණා.
කමිස, දිගු කලිසම් ඇද ගත්ත පිරිමි ළමයින් ගැහැනු ළමයින් වගේ ම, දිගු සායවල් කොට සායවල් ඇදගත්ත ගැහැනු ළමයිනුත් සරවියෙ හිටියා. සමහර කෙටි
සායවල් දණිහෙන් අඟලක් විතර දිගට තියෙන්නවත් අපි දැක්කා.කතා බහක්
නොමැතිවම අපි සරසවියෙන් පිටවුණා.
ඒක එතනින්
ඉවර වුණත් වුණේ මොකක්ද කියල හරියටම දැනගන්න අපිට අවශ්‍ය වුණා. අපි ඒ ගැන හොයා
බැලුවා.
“ආ ඔයාලා දන්නෙ නැද්ද, අපේ සරසවියට “ත්‍රී ක්වාට” අදින්න තහනම්, ඒ විතරක් නෙවෙයි ගැහැනු ළමයින්ට අත්නැති හැට්ට අදින්නත් තහනම්”
“ඉතින් කොහොමද ඒ නීති ගැන යන එන
මිනිස්සුන්ව දැනුම්වත් කරල තියෙන්නේ, අනික සරසවියට එන්නෙ සරසවි සිසු සිසුවියන් විතරක් නෙවෙයිනේ.” මම ප්‍රශ්න කළා. “ඇයි ගේට්ටුවෙන්
කිව්වෙ නැත්ද? ආයේ බෝලෙ මට
කැරකුණා. “වාහනවලින් යන එන අය පැෂන් ෂෝ එකක වගේ වාහනෙන් බැහැල ඇඳුම පෙන්නල ද යන්නේ.” මම ඇහුවා.
“අනේ අපි ඒව දන්නෙ නෑ. ඔයා දන්නෙ නැද්ද
මේක සරසවියක් වෙන්න කලින් පිරිවෙනක්, ඉතින් ළමයි සංවරව අදින්න පලදින්න ඕනෙ. ඒක තමයි රීතිය, සම්ප්‍රදාය දන්නෙ නැත්නම් දැනගන්න”
මට හිනා ගියා මගේ නොදැනුවත්කම ගැන. අයියෝ මම මොනතරම් මුලාවකද ඉන්නේ. කවුද
කියන්නෙ අපි මේ ඉන්නෙ නූතන, එහෙමත් නැත්නම්
පශ්චාත් නූතන යුගයෙ කියලා.
මෙච්චර දේවල් කියන්න හේතු වුනේ “ත්‍රී ක්වාට” එකක් නෙ. ඉතින්
පිරිවෙන්වල ඉගෙන ගන්න කාන්තාවන් ආවේ නෑනේ. අනිත් අතට පිරිවෙන් සමයේ අදින්න තහනම්
කරන්න ඔය “ත්‍රී ක්වාට” කියල හඳුන්වන ඇදුම තිබුණ ද කියලත් මට සැකයි. “මිනි” ස්කර්ට් මෝස්තරය
ආවේත් හැට හැත්තෑව දශකවලනේ. දණිහෙට පහළට අඟල් දෙකක් දිගටසායකට නිරාවරණය වන දෙපයයි, විළුඹෙන් ඉහළට අඟල් හතරක් විතර නිරාවරණය වන දෙපයය අතර පැහැදිලි වෙනසකුත්
තියෙනවනේ. අනේ මන්දා මේවා කොහොම තේරුම් කර ගන්නද කියලා.
ළඟක දි මේ සරසවි බිමේ ම පිහිනුම් තටාකයක් විවෘත කළා නේද කියල දැනුයි මතක්
වුණේ. ඒක ගැහැනු ළමයින්ට තහනම් කලාපයක් ද කියල හොයල බලන්නත් ඕනේ, මොකද සාමාන්‍යයෙන් සායවල් ඇදගෙන වත් දිගු කලිසම් ඇදගෙනවත් පිහිනන්න යන්න
බෑනෙ. පිහුනුම් තටාකයට බහින්න ඒකට ගැළපෙන ඇදුමක් එපැයි. ඒත් කියන්න බැහැ තියෙන
තත්ත්වෙත් එක්ක සරසවි මානවිකාවන් දිගු කලිසම් ඇදල පීනන්ට යනවා වෙන්නත් පුළුවනි.
මම තාමත් හිතනවා. සරසවියක් කියන්නෙ මොකක්ද පිරිවෙනක් කියන්නෙ මොකක්ද කියලා.
තාමත් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න විද්‍යාව ඉපදිලා නැතිව ඇති. උපන්නාවූ සියලු
දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ කියලනේ කියන්නේ. හික්කඩුවේ සුමංගල හාමුදුරුවො අද
දවසෙ හිටියනම් මේ ගැන උපදෙසක් ගන්න තිබුණා කියලත් මට හිතුණා.
ඒ එක්කම මේ කියන සරසවියෙ දී ම අතීතයේ දවසක බොහෝ රසවත්ව හැදෑරුව, 1447 දී ලියවුණු කාව්‍ය ශේඛරයෙ කවියකුත් මට මතක් වුණා. ගැහැනු ළමයි මේ සරසවියේ
හැසිරිය යුතු ආකාරය එදවසත් අගනගරය වුණු කෝට්ටෙ යුගයේ දි මෙහෙම ලියවෙන්න ඇති කියල
අවසානයට මට හිතුණා.
නාභිය
නොදක්වා
සළු ඇද බොලට දක්වා
නොපා තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා...
ෆීනික්ස් කිරිල්ලී
10 Jan 2013 6:32 PM (13 years ago)
ජීවිතේ වෙලාවකට හරියට හමන සුළඟ වගේ, කොහෙන් හැමුවද? කොහේටද හමාගෙන යන්නෙ කියල කවුරුවත් දන්නෙ නැහැ. හමාගෙන එනවා, හමාගෙන යනවා. වෙලාවකට හරිම සිහිල් සුළඟ වෙලාවකට මාරාවේශ වෙනවා. මල් සුවඳ විතරක් නෙෙමි කුණු ගඳත් අරගෙන එනව. ජිවත්වෙන්න ඉහලට අදින හුස්ම පොදත් එක්ක බැඳිලා තියෙන අපේ ජීවිතේ ඒ හුළං පොද වගේ නොකියම ඇවිත් නොකියම යන්නත් යනවා. අපිත් නොකියම ඇවිත් නොකියම යන්න යනවා. ඒ වුණත් ඒ නොකියා ඇවිත් නොකියාම නික්මුණාට අපේ ජීවිතවල තියෙන සමහර සමිබන්ධකම්වල දිග පළල මැරෙන තුරාවට අපේ ජීවිතවල මතකයක් ඉතිරි කරලා යනවා.
මඩකළපුවෙ කල්ලඩි වෙරළ පේන තැනක මම හොඳටම දන්න කාන්තාවක් ඉන්නවා. ඇය රාජේශ්වරී, ඇගේ ළමා කාලය ගෙවෙන්නෙ කොළඹ. වැල්ලවත්තෙ ඉඳලා දරුවො යන්තම් බහ තෝරණ වයසෙදි ඇගේ මවුපියන් ඔවුන්ව මඩකළපුවට රැගෙන යනවා.අම්මයි අනෙත් සහෝදරියොයි එක්ක රාජේශ්වරීල හරිම සතුටින් ගමේ ජිවත් වෙනවා හැබැයි ඒ සතුට බොහොම තාවකාලිකයි.
78 අවුරුද්දෙ නොවැම්බර් මාසේ නැගෙනහිර වෙරළට කඩාවදින සුළිසුළගට අනුකම්පාවත් ඇත්තෙ නෑ. ජන ජීවිතය උඩු යටිකුරු කරල ගෙවල් දොරවල් නැති වෙන්න විනාඩි ගනනාවක් විතරයි යන්නනෙ. එක මොහොතකින් රාජේෂ්වරීලට මඩකළපුවෙ මහ ගෙවල් නැතිවෙනවා. කට්ටිය ආයෙමත් කොළඹට එනවා. ළමයි ආයෙමත් පාසල් යනවා. ජීවිතය අලුතින් පටන් ගන්නවා. ඒ නිවහල් ජීවිතය ට ආයුෂ තියෙන්නෙ වසර පහයි. කළු ජුලිය පැමිණෙනවා. ගිනි ගන්න කොළඹ නගරේ තිබ්බ දේපල, ව්‍යාපාර අතඇරලා ඔවුන් ආයෙත් මඩකළපුවට යනවා. ඒ අතර කොහොම හරි කරල ඇය ඉගෙන ගන්නවා, උසස්පෙළ විද්‍යා අංශයෙන්.
අසුව දශකයේ ඇය විවාහ වෙනවා. බැඳලා දරුවට මාස තුනේ දි මහත්තය අතුරුදන් වෙනවා. ඒ යුද්දෙ නැගෙනහිර පළාත වෙලාගෙත තිබුනු කාලෙ . ඒ වෙද්දි නංගිල දෙන්නගෙ මහත්තුරු නැතිවෙලා වසරක් ගෙවිල නෑ. නැගණියන් දෙදෙනා අත ගත්තෙ ගන්දරින්. මඩකළපුවට ආපු එකම පවුලෙ සහෝදරයො දෙදෙනෙක්, මිශ්‍ර පවුලක් ඇතුලෙ තියෙන අවබෝධය සහජීවනවයල සිවිල් අරගලයක පැටලී සිටින පාර්ශව කරුවන්ට අදාළ වෙන්නෙ නැහැ. කට පුංචට හිතක් පපුවක් ඇත්තෙන් නැහැනෙ.
තොරතුරක් නැති සැමියා හොයාගෙන රාජේශ්වරී කොළඹ එනව. එක අවාසනාවත්ත දවසක ඉවරවෙලා තිබුණු ගෑස් ටැංකියෙ අන්තිම බින්දුවෙන් වතුර රත් කරගන්න ඇය උත්සාහ කරනවා. කලින් දවසෙ නිවසෙ අනිත් උදවිය අලුත් ගෑස් එකක් ගෙනත්. අන්තිමට උස්ව නැගෙන ගෑස් දැල්ල නතරවෙන්නෙ රාජේශ්වරීගෙ මුහුණේ.
සැමියා ගැන අන්තිම බලාපොරොත්තුවත් නැති වුණාට පස්සෙ ඇය ආපසු මඩකලපුවට එනවා. රෝහලේ සාත්තු සේවිකා රැකියාවක් හොයාගෙන. ණය වෙලා ඉඩමි කෑල්ලක් අරගෙන නිවසක් හදන්න පටන්ගන්න.
සුන්බුන් මතින් නෑගී සිටින්න. පැරැණි බිල්ඩින් කඩල ඉවත් කරන දැව බාල්ක අරගෙන ලී දඩු හදාගන්නවා. බ්ලොක් ගල් ගහලා අත්වැඩ දීල, සිමෙන්ති අනල, හදා ගත්ත වැඩ නිමා නොවූ නිවස පෙන්නල ඇය අපට පළවෙනි වතාවට කියනව මේ මගේ ලේ කඳුළු කියල, ඒ 2003 වසර. ඇයට ඒ දිනවල හීනයක් තිබුණා. නිවසෙ වැඩ ඉවර කරලා කාමරයක රෝහලේ හෙදියන්ට නවාතැන් දෙන්න. අමතර ආදායමක් හොයාගෙන දියණියට උගන්වන්න. අම්මට සලකන්න.
දෙවැනි වතාවෙ මම ඇය බලන්න යනකොට එකම දවසක් වත් පදිංචියට යන්න කලින් අත්තිවාරම විතරක් ඉතිරිවෙන්න ගේ සුනාමිය ගෙනිහින්. අත්තිවාරම ඊළග සතියෙ හොරු ගලවන් ගිහින්. ඇදිවතයි ඇගේ ජීවිතයේ වටිනාම වස්තූන් වන අම්මයි, දුවයි ඇයට ඉතිරි කරන්න සුනාමිය වග බලාගෙන තිබුණා. කඳුළු අතරින් කල්ලඩි වෙරළ දිහා බලාගෙන ,“මම තාම ජීවත් වෙනවා.මට ඒකට ශක්තිය තියෙනව කියල” රාජේශ්වරී මට කිව්වා.
සුනාමිය ඇවිත් ගිහින් වසර අටයි. ඉදහිට දවසක රාජේශ්වරී ගැන ආරංචි එනවා. අම්ම මිය ගිහින්. දියණිය කසාද බැඳලා. රාජේශ්වරී දැන් ආච්චි අම්මෙක්. තාමත් ඉදහිට මඩකළපු රෝහලෙන් කොළඹ රෝහලට එන ගිලන් රථයකට ගොඩවෙලා, සිංහල අකුරක් නොදන්න රෝගීන්ට භාෂා පරිවර්තනයෙන් උදවු කරන්න ඇය කොළඹට එනවා.
මේ පැරණී කතාව ඔබට කියන්නෙ සුනාමිය ඇවිත් ගියපු හින්දම නෙවෙයි. මනුස්ස ආත්මය තුළ ෆීන්ක්ක් කුරැල්ලෙක් ඉන්නව කියන්න. ෆීනික්ස් කියන්නෙ අළු මතින් නැවත ඉපදෙන පක්ෂියෙක් කියලයි පුරාවෘතවල සඳහන් වෙන්නෙ.රාජේෂ්වරී තම ජීවිත කාලය තුළ කිහිප වරක් ඉපදුණු කාන්තාවක්. ආපු හැම ඛේදවාචකයක්ම මහමෙර වාගේ දරාගත්ත කෙනෙක්. මම දන්නවා රාජේශ්වරී නැවත නැගී සිටිනවා කියලා.
මොකද ඇයට මොනව නැති වුණත් ජීවිතේ තියෙන නිසා. තමන්ගේ අතේ ඇගිලි අතරෙන් ගිලිහෙන ජීවිතය ඇය අල්ල ගන්නවා. මේක එක උදාහරණයක් විතරයි. හබැයි මේක මම අදහන්නෙ අපට පාඩමක් කියල, මොකද රාජේශ්වරී තමන්ගෙ මතකයන් එක්ක ජීවිතය අත අරින්නේ නැතිව, ජීවිතය වළදාන්නෙ නැතිව එයට මූණ දෙන හින්දා. අපි කීයෙන් කීදෙනෙකුට එහෙම ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්ද ?

මනුස්සකම” වර්ග කරන්න බෑ. පසුගිය සතියෙත් ලිහිණිගෙ ලියමන ලියවුණේ ඒ පිළිබඳ. අපි මුහුණ දෙන අවස්ථාවන් අනුව, දේවලට ප්‍රතිචාර දක්වන ස්වරූපය අනුව බොහෝ දේ වෙනස් වෙනවා. හැබැයි “මනුෂ්‍යයන්” හෙවත් උසස් මනසක් තියෙනවා යයි විශ්වාස කරන අපි කරන කියන දේවල් අනුව ඇත්තටම අපි මනුෂ්‍යයොද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහන්න වෙන අවස්ථා තියෙනවා.
විශේෂයෙන් ම අනිත් අයත් එක්ක හැසිරෙද්දි වැඩ කරද්දි හෘදය සාක්ෂියක් ඇතිව ජීවත්වෙනව කියන හැඟීම තමන්ට තියෙන්න ඕනෙ කියලයි මම විශ්වාස කරන්නෙ.මෙච්චර දේවල් කියන්න හේතු වුණේ තරිඳු දුෂාන්ත සොහොයුරා. අද ජීවතුන් අතර නැතත් ඔහුගෙ වේදනාත්මක සමුගැනීමේ දුක වේදනාව ජීවත්වන අම්මටයි, තාත්තටයි, අයියටයි විතරක් වුණත්, ඔබටත් මේක අදාළ වෙන්න පුළුවන්, කවදාක හරි දවසක කිසියම් මොහොතක හෘදය සාක්ෂිය ඇතුව ජීවත් වෙන්න.
තරිඳු දුෂාන්ත වෙදගේ. ජීවත් වුණේ කලවානේ හඳනංගල, පවුලෙ අයියයි මල්ලියි විතරයි. යන්තම් අවුරුදු විස්ස ගතවුණා විතරයි ඔහු රැකියාවක් සොයා ගත්තා. රත්තපුර කුරුවිට තියෙන ප්‍රසිද්ධ ඇගලුම් කම්හලක. රැකියාවට ගිහින් යාන්තම් මාස තුනක් ගෙවුණා විතරයි. යාළුවො සංවිධානය කළා විනෝද චාරිකාවක්, ගාල්ල පැත්තට ගිහින් මුහුදෙ නාලා විනෝද වෙලා එමු කියල. දවස හීතල දෙසැම්බර් මාසේ දෙවෙනිද, ඉරිදා. කොලු වයසනෙ තරිඳුත් එක පයින් ගමන ගියා.
රත්තපුරේ ඉදලා කෙලිකවට සිනාවෙන් පිරිල ඉතිරිල තිබුණ බස්රියේ තිරිංග තදවුණේ අකුරළදි. කට්ටිය නතර වුණේ වෙරළෙ. මුහුද අද්දර රතුපාට කොඩි තිබුණට හැපිල බිදෙන රළ එක්ක සෙල්ලම් කරන්න කට්ටිය තෝර ගත්තෙ එතැන. රළ බිදෙන හඬ පරද්දල විසිරුණු සිනාහඬ නතර වෙන්න ලොකු වෙලාවක් ගියෙ නෑ. වෙරළට අාපු රැළ තරිඳු තදින් බදා වැලදගෙනම සයුරට ගෙනිහින් තිබුණ.
මේ කතාවෙ වැදගත් හරිය තියෙන්නෙ ඊට පස්සෙ, කට්ටිය තමන්ගෙ ආයතනයට කතා කරා. පොලිසියට කතා කළා. ගමේ මිනිස්සු මුහුද එක්ක ඔට්ටුවෙමින් තරිඳුව හොයන්න පටන්ගත්තා. ඒ දේවල් එහෙම වෙද්දි, ඇමතුමක් ආවා, අනෙක් කට්ටියට ආපසු එන්න කියලා.
නන්නාදුනන මුහුදු වෙරළක සැඟව ගිය තමන්ගෙ ගමන් සඟයව අත ඇරල මුකුත්ම නොවුණා වගේ කට්ටිය ආපහු රත්නපුරේට ආවා. අර විනෝද චාරිකාව සංවිධානය කරපු, එකට විනෝද වුණු, කාපු බීපු හැම කෙනෙක්ම, තරිඳුව දන්නෙ නෑ වගේ, අපි එක්ක ආවේ නෑ වගේ ආපහු ආව. අඩුම තරමෙ ඔහුගෙ පවුලෙ සාමාජිකයන් එනකම්, මෙතනදි තමයි අපි තරිඳුව අවසන් වතාවට දැක්කෙ කියල කියන්න කෙනෙක් එතන නතර වුණේ නෑ. ඒ අවාසනාවත්ත ආරංචිය අහගෙන තමන්ගෙ පුතාව, සොහොයුරාව හොයාගෙන ආපු අයට සිදු වුණේ. කිසාගෝතමී නොමළ ගේකින් අබ හොයා ගෙන ගියා වගේ මුහුදු වෙරළෙ අද්දර තැනින් තැන “අනේ අපේ පුතා මෙතනදි ද නැතිවුණෙ?” කියල අහ අහ යන්න.
අන්තිමට නාවික හමුදාව තරිඳුව හොයා ගත්තා. පහුවදා දවල් එකොළහට විතර. ඒ වෙද්දි තරිඳු එක්ක ආපු අය පහුවදා සේවයට වාර්තා කරලා. අන්තිමට තරිඳුව අදුන ගන්න, විනෝද චාරිකාව ගිය ඔහුගෙ මිතුරො නැවත අකුරළට එනකම් තරිඳුගෙ පවුලෙ උදවිය තමන්ගෙ දරුවගෙ, සොහොයුරාගෙ මෘත ශරීරය මුහුදු වෙරළෙ තියාගෙන බලාගෙන හිටියා. දවල් එකොළහේ ඉදල සවස තුන වෙනතෙක්.
අවසානයේ සියල්ල කෙළවර වුණත්, මට මහා ආත්ම අනුකම්පාවක් දැනුණා. ජීවත්වුණත් මියගිය තරිඳුගෙ යහළු යෙහෙළියන් ගැන. සුදු කොඩියක් නොවැටුණු. විනාඩියක නිහඬතාවයක් නොනැඟුණු ඒ ආයතනය ගැන. හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුත් එතැන නොසිටීම ගැන. මම දන්නවා එතැන ගැහැනු ළමයි ඉන්න ඇති. රාත්‍රියට පෙර ඔවුන් නිවෙස්වලට ඇරලීමේ උවමනාව තියෙන්න ඇති. “රස්සාව නැති වුණොත් ජීවත්වෙන්නෙ කොහොමද” කියල බයක් ඇතිවෙන්න ඇති.
“තරිඳුගෙ ගෙදර අයට මුණ දෙන්නෙ කොහොමද?” කියල බයක් තියෙන්න ඇති. “ගිය එකා ගියා ආයෙ එන්නෙ නෑනෙ” කියලත් හිතෙන්න ඇති. ඒ මොනවා වුවත් නූඹලා අතර, තරිඳුගේ මිතුරු මිතුරියන් යැයි කිව නොහැකි වුවත් එකට සේවය කළ සොහොයුරා ගැන, පොලිසිය සමඟ ගොස් තරිඳුව හදුනාගත්තවුන් අතර, ආයතනයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානීන් අතර එකදු හෝ හෘද සාක්ෂියක් නොමැතිවීම ගැන.
මගේ හිතට දැනෙන්නේ කනගාටුවක්. ඔබ තර්ක කරයි, ඔහු අපේ සේවකයෙක් තමයි, හැබැයි පුද්ගලික ගමනක් ගියෙ කියල. ඔව් සම්පූර්ණ ඇත්ත. මාස තුනක් සේවය කරපු, හිනාවේගෙන ඉන්න බාකෝඩ් එකක මූණ තියල ගියපු සේවකයෙක් වෙනුවෙන් අවසන් ගෞරවේ දක්වන්න යන්න නිවාඩුවක් දුන් නැතිවට තත්පරේක නිහඬතාවයක් දක්වන්න බැරි පවුලකට පවුලක් කියන්න පුළුවන්ද හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට.
දයාබර තරිඳු සොහොයුර හෘද සාක්ෂියක් සහිත මිනිසුන් බිහිවෙන දිනයක් වෙනුවෙන් වූ ප්‍රාර්ථනයත් සමඟ, ඔබට නිවන් සුව ලැබේවා!